මේ දිනවල වෙළෙඳසල්වලට යන සාමාන්‍ය පාරිභෝගිකයාට අලුත් අත්දැකීමකට මුහුණ දීමට සිදු වී තිබේ. එනම්, මෙතෙක් කිසිදු ගාස්තුවකින් තොරව භාණ්ඩ රැගෙන යෑමට ලැබුණු පොලිතීන් සිලි-සිලි බෑගය සඳහා දැන් ගෙවීමක් සිදු කිරීමට සිදුවීමයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක වීමත් සමග, රටේ වෙළෙඳපොළේ නව පරිසර හිතකාමී ප්‍රවණතාවක් ආරම්භ වී ඇතැයි පැවසිය හැකිය. මෙම තීරණය ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ සටනෙහි වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස පරිසරවේදීන් හඳුන්වා දෙන්නේ එය ජනතාවගේ දෛනික පුරුදු කෙරෙහි සෘජුවම බලපෑම් කරන බැවිනි.
පරිසරවේදීන් දිගු කලක සිට පෙන්වා දුන්නේ මෙරට පාරිසරික දූෂණයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් බවයි. අප දිනපතා භාවිතයෙන් ඉවතලන මිලියන ගණනක් වන සිලි බෑග්, කාණු පද්ධති අවහිර කරමින් නාගරික ගංවතුර තත්ත්වයන් උග්‍ර කිරීමටත්, ජලජ ජීවීන්ට සහ සතුන්ට හානි කිරීමටත්, අවසානයේදී ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත් වී අපගේ ආහාර දාමයටම ඇතුළු වීමටත් හේතු වී තිබේ. මෙම නව නීතිය මගින් අපේක්ෂා කරන්නේ,
පාරිභෝගිකයාට බෑගයක් වෙනුවෙන් සුළු මුදලක් හෝ ගෙවීමට සිදුවන විට එම වියදම අවම කර ගැනීමට ඔවුන් තමන්ගේම නැවත භාවිත කළ හැකි බෑග් (Reusable Bags) රැගෙන ඒමට පෙළඹවීමයි. බෑගය නොමිලේ ලැබෙන විට ඇති වන නොසැලකිලිමත් භාවිතය, මිලක් නියම වීමත් සමග සැලකිලිමත් භාවිතයක් බවට පෙරළෙනු ඇතැයි විශ්වාස කෙරේ.
වෙළෙඳසල් හිමිකරුවන් පෙන්වා දෙන්නේ ඔවුන් මෙම මුදල් අය කරනු ලබන්නේ ලාභ ලැබීමේ අරමුණින් නොව රජයේ නීතියට අනුකූලව සහ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පෙරදැරිව බවයි. අය කරන මුදල නිසි පරිදි බිල්පතේ සඳහන් කිරීමේ විනිවිදභාවය පවත්වා ගැනීම මෙහිදී අතිශයින් වැදගත් වේ. නමුත් පාරිභෝගිකයන් අතර මේ පිළිබඳව ඇත්තේ මිශ්‍ර ප්රතිචාරයකි. එක් අතකින් පරිසරය වෙනුවෙන් ගත් මෙම පියවර අගය කරන අතරම, තවත් පිරිසක් පෙන්වා දෙන්නේ භාණ්ඩ මිලදී ගැනීමේදී එම මිලටම බෑගය ද ඇතුළත් විය යුතුව තිබූ බවයි. තවද සමහර වෙළෙඳසල් මෙම මුදල් සෘජුවම පරිසර සංරක්ෂණ අරමුදලකට බැර කරන්නේද යන්න පිළිබඳව මහජනතාව තුළ විනිවිදභාවයක් අපේක්ෂා කෙරේ.
මෙම ක්‍රමවේදය ලෝකයේ බොහෝ දියුණු රටවල සාර්ථකව ක්‍රියාත්මක වූවකි. බෑගයකට මුදලක් අය කිරීම මගින් තනි භාවිත ප්ලාස්ටික් භාවිතය ඉතා විශාල ප්‍රතිශතයකින් පහත හෙළීමට හැකි වූ බවට උදාහරණ තිබේ. ශ්‍රී ලංකාව තුළ ද, මෙම නීතිය හරියටම ක්‍රියාත්මක වුවහොත්, මාස කිහිපයක් තුළදී වෙළෙඳපොළට මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය විශාල ලෙස අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇත. අවසානයේදී මෙම නව පුරුද්දට හුරු වීම, පාරිභෝගිකයන් ලෙස අප සියලු දෙනාට ප්ලාස්ටික් උවදුරින් තොර, පිරිසිදු අනාගතයක් වෙනුවෙන් සිදු කළ හැකි පහසුම සහ වැදගත්ම දායකත්වය වනු ඇත. මේ තීරණය හුදෙක් මුදල් අය කිරීමක් නොව, පරිසරය රැක ගැනීමේ වගකීම සමාජගත කිරීමක් බව අවබෝධ කර ගැනීම සියලු දෙනාගේම වගකීමයි.
මලිති දෙව්මිණි
Saru FM Media









