ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු ගැටලුව සාකච්ඡා කර විසඳාගන්න

0
7

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද (නොවැ: 06) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කළේ ය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අදාළ බද්ද අය කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මෙම යෝජනාව කළේ ය.

මෙම පෙත්සම් විභාගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙම ගැටලුව මෙම සිද්ධියට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාර්ශ්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, නීතිපතිවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව ය.

‘ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ කීර්තියට දායක වන පිරිසක්’

රජයට බදු ආදායම් අය කර ගැනීම වැදගත් වනවා මෙන් ම මෙය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා සම්බන්ධ ගැටලුවක් නිසා මෙම බදු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස මෙහිදී විනිසුරුවරයා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහට යෝජනා කළේ ය.

තමා මෙහිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට පක්ෂපාතීව කටයුතු නොකරන බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා, ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් යනු ශ්‍රී ලංකාවේ කීර්තියට දායකත්වයක් ලබා දෙන පිරිසක් බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඔහු සිය යෝජනාව ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් නොවන බව සඳහන් කළේ ය.

තම සේවාදායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කටයුතු කරන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ බවත්, ඔවුන්ට සේවක අර්ථ සාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිමිකමක් නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here