මෑත කාලීන පුවත්පත් වාර්තා අතරින් දිනපතාම පාහේ අපට අසන්නට ලැබෙන්නේ තරුණ, වැඩිහිටි, මවුවරුන් සහ දරුවන් ලෙස කිසිදු භේදයකින් තොරව ජීවිතයෙන් සමුගන්නවුන් පිළිබඳ කනගාටුදායක කතාය. මෙම සියදිවි නසාගැනීම් පිළිබඳ භයානක සංඛ්‍යාලේඛන හුදෙක් ඉලක්කම් ගොඩක් ලෙස බැහැර කළ නොහැකිය. මන්ද එය අපගේ සමාජයේ යටි පෙළේ පවතින ගැඹුරුම මානසික, ආර්ථික, පවුල් සබඳතා බිඳවැටීම් ආදියෙහි බලපෑම් සහ අර්බුදකාරී තත්ත්වය පැහැදිලිව ම කියාපාන දර්ශකයක් වන බැවිනි. එක් යුගයක ලෝකයේ ඉහළම සියදිවි නසාගැනීමේ අනුපාතයක් වාර්තා කළ රටක් ලෙස ශ්‍රී ලංකාව දැඩි අවධානයට ලක් වූ අතර වසර ගණනාවක් පුරා එය පහත වැටුණද අද වන විට පවතින සමාජ ආර්ථික ව්‍යාකූලත්වය තුළ නැවතත් මෙම සංසිද්ධිය ජාතික ව්‍යසනයක් ලෙස හිස ඔසවමින් තිබීම මුළුමහත් සමාජයට ම ප්‍රබල අනතුරු ඇඟවීමකි.
සියදිවි නසාගැනීම යනු තමන්ගේ ජීවිතය හිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනීමයි. පුද්ගලයකු සියදිවි නසාගැනීමට පෙළඹීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ විෂාදය (Depression), හින්නොන්මාදය වැනි මානසික සෞඛ්‍ය ගැටලු වන අතර ඒවා හඳුනාගැනීමට හා ප්‍රතිකාර ලබාගැනීමට සමාජයේ පවතින අවඥාව සහ ප්‍රතික්ෂේප කිරීම ප්‍රබල බාධාවකි. ඊට සමගාමී ව වත්මන් දැඩි ආර්ථික අර්බුදය, රැකියා අහිමිවීම සහ ණය බර හේතුවෙන් ඇතිවන පීඩනය, විශේෂයෙන් ගොවි ජනතාව සහ පහළ ආදායම් ලබන පිරිස් අතර සියදිවි නසාගැනීම් ඉහළ යෑමට සෘජුවම බලපා ඇත. තවද පවුල් ගැටුම්, ගෘහස්ථ ප්රචණ්ඩත්වය, සහ අධ්‍යාපනික පීඩනය වැනි සාධක මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ද මෙම අඳුරු මාවතට තල්ලු කිරීමට ප්‍රබල ලෙස බලපාන බව පැහැදිලි ය.
වර්තමාන සංඛ්‍යා දත්ත පිරික්සීමේ දී දැකගත හැක්කේ දළ වශයෙන් ලෝකයේ මිනිසුන් ලක්ෂ 8-10 ත් අතර වාර්ෂිකව සියදිවි නසාගැනීම තුළින් තම ජීවිතය නැති කරගන්නා බවයි. සියදිවි නසාගැනීම ලෝකයේ ජීවිත නැතිවීමේ ප්‍රධාන මාර්ග අතරින් දසවෙනි තැනට පත්වී ඇත. පුරුෂයන්ගේ සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ස්ත්රීන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි අතර එය ස්ත්‍රීන් සියදිවි නසාගැනීමට වඩා තුන්ගුණයත් සිවුගුණයත් අතර ප්‍රමාණයක් ගනී. එමෙන්ම ලෝකයේ මාරක නොවෙන නමුත් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වාර්ෂිකව මිලියන 10-20 ත් අතර ප්‍රමාණයක් සිදුවන බවට ඇස්තමේන්තු ගතකර ඇත. සියදිවි නසාගැනීමේ මෙම මාරක නොවන උත්සාහයන් ප්‍රධාන වශයෙන් ඇත්තේ තරුණ තරුණියන් සහ ස්ත්‍රීන් අතර ය.
අද වන විට සියදිවි නසාගැනීමේ සංසිද්ධිය තවත් සංකීර්ණ වන්නේ නව තාක්ෂණික හා සමාජීය අභියෝග හේතුවෙනි. විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතර සමාජ මාධ්‍ය හරහා සිදුවන සයිබර් හිරිහැර (Cyberbullying) සහ දැඩි විවේචන හේතුවෙන් ඇතිවන මානසික කම්පනය ප්‍රබල අවදානම් සාධකයකි. අන්තර්ජාලය වෙත අධික ලෙස ඇබ්බැහි වීමෙන් සත්‍ය ලෝකයේ හුදකලාව වර්ධනය වීමත්, සමහර අවදානම් සහිත මාර්ගගත අභියෝගයන්හි බලපෑමත් අද වන විට පෙනී යන නව ප්රවණතා වේ.
මීට අමතරව සියදිවි නසාගැනීම් වැළැක්වීමේදී නීතිමය හා ප්‍රතිපත්තිමය ක්ෂේත්රය ද වැදගත් වේ. ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමට තැත් කිරීම තවදුරටත් අපරාධයක් නොවන ලෙස නීතිය ලිහිල් කිරීම, ගැටලුව මානසික සෞඛ්‍යමය තත්ත්වයක් ලෙස පිළිගැනීමට ඇති වැදගත් පියවරකි. එහෙත් සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා ජාතික මට්ටමේ සමස්ත හා අඛණ්ඩ ක්‍රියාකාරී සැලැස්මක් ග්‍රාමීය මට්ටම දක්වා කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම පිළිබඳව දැඩි විමසුමක් කළ යුතුව තිබේ. තවද මෙම ගැටලුව සෑම ප්රදේශයකටම සමාන ආකාරයකින් බලපාන්නේ නැත. මානසික සෞඛ්‍ය සේවාවන්ට සහ උපදේශන සේවාවන්ට නාගරික ප්‍රදේශවල මෙන් පහසු ප්‍රවේශයක් ග්‍රාමීය ප්‍රදේශවල නොමැති වීම ගැටලුව උග්‍ර කරයි. සාම්ප්‍රදායික ව ග්‍රාමීය ප්‍රදේශවල (විශේෂයෙන් ගොවි ප්‍රජාව අතර) ආර්ථික පීඩනය සහ පළිබෝධනාශක වෙත පහසු ප්‍රවේශය හේතුවෙන් සියදිවි නසාගැනීම්හි ඉහළ අනුපාතයක් තිබේ. එමෙන්ම ගැටලුවලට නිසි විසඳුම් සෙවීම වෙනුවට ඒවා සඟවාගෙන සිටීමට පොළඹවන ඇතැම් සංස්කෘතික ආකල්ප ද මෙම ව්‍යසනයට දායක වන බව අප පිළිගත යුතුය.
මෙම ව්‍යසනයෙන් මිදීමට නම් එය හුදෙක් පුද්ගලික දුර්වලතාවක් ලෙස නොසලකා රාජ්‍ය වගකීමක් සහ සමාජ වගකීමක් ලෙස දැකිය යුතුය. මානසික සෞඛ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්රවේශවීමට හැකි වන පරිදි ගම් මට්ටමින් මධ්‍යස්ථාන පිහිටුවා උපදේශන සේවාවන් වැඩිදියුණු කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවයයි. රජය මෙන්ම ප්‍රජා සංවිධාන ද, ආර්ථික පීඩනයට, පවුල් ගැටුම්වලට හා විෂාදයට ලක් වූ අවදානම් කණ්ඩායම් කඩිනමින් හඳුනාගෙන ඔවුන්ට මූල්‍යමය හා මානසික සහාය දැක්වීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. මාධ්‍ය ආයතන, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ලෙස අප සැවොම මානසික සෞඛ්‍යය පිළිබඳ විවෘත සංවාදයක් ඇති කළ යුතුය. ‘සියදිවි නසාගැනීමට සිතන කෙනෙක් කතා කරන්නේ නැත’ යන මිථ්‍යාව බැහැර කර අන් අයගේ වේදනාවට සංවේදී ව සවන් දීමටත්, අවශ්‍ය උපකාර ලබා දීමටත් අප සැවොම බැඳී සිටිමු. අපට අවශ්‍යව ඇත්තේ විනිශ්චය නොව ආදරය සහ අවධානයයි. ජීවිතය අහිමි වන සෑම මොහොතක් ම අපගේ සමාජය ලැබූ පරාජයකි. අපගේ ආර්ථික අර්බුද, සමාජ ගැටුම්, තාක්ෂණික අවදානම් සහ මානසික පීඩාවන් පරාජය කරමින්, ජීවිතය සුරක්ෂිත කරන, එකිනෙකාට සංවේදී නව සමාජයක් ගොඩනැඟීමට දැන්වත් සියලු දෙනා එකමුතු විය යුතුය.
නයනි මධුශානි
Saru FM Media









