අතුරු කන්නයක් ලෙස හම්බන්තොට ගොවි ජනතාව කුඹුරුවල වගා කළ මුං ඇට කිලෝ තිස්ලක්‍ෂයක පමණ ඵලදාව රජය මැදිහත් වී ස.තො.ස. හරහා ගොවීන්ගෙන් කෙළින්ම මිලදී ගත යුතු බව එම ගොවීහු පවසති. සාමාන්‍යයෙන් ආණ්ඩුව කරන්නේ ටෙන්ඩරයක් හරහා මේ මුං මිලදී ගැනීම ය. එහෙත් ගොවීන් පවසන්නේ එවැනි විටෙක තමන්ට සාධාරණ මුදලක් නොලැබෙන බවය. කෙසේ වුවද ලොකු ලූනු, අල සහ සහල් සම්බන්ධයෙන් පවා කිසිදු වාණිජ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගැනීමට නොහැකි වූ ආණ්ඩුව මුං ඇට සම්බන්ධයෙන් ගොවීන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරයි ද යන්න සැක සහිත ය. ලොකු ලූනු කිලෝ ලක්‍ෂ දහයකට වඩා මේ වනවිට කුණුවී ඇත. අල ද විකුණා ගැනීමට නොහැකිව සිරවී ඇත. මේ වනවිට ඇතැම් තැන්වල ලූනු සහ අල තොග පැළවීමට පටන්ගෙන තිබේ. පැළවූ ලූනු සහ අල ආහාරයට සුදුසු නැත. ලූනු සහ අල පැළවන විට ඉන් පිටතට එන මොටෙයියන් අවට විෂ රසායනික ද්‍රව්‍යයක් හටගනී. ඒ එම මොටෙයියන් කෘමීන්ගෙන් බේරාගැනීම සඳහා ය. මෙය ස්වභාවධර්මය විසින් සලසනු ලබන පහසුකමකි. අල හෝ ලූනු ලබාගැනීමට නිසි වැඩපිළිවෙළක් නැති සහ හාල් වෙළෙඳපොළේ දී ඩඩ්ලි ඇතුළු පිරිස සමග හැප්පීමට හැකියාවක් නැති ආණ්ඩුවෙන් ටෙන්ඩර් ක්‍රමයකින් තොරව මුං ඇට කිලෝ තිස්ලක්‍ෂය මිලට ගන්නැයි ගොවීන් ඉල්ලන විට අපට ඇසීමට සිදුවන්නේ ‘මුන්’ට පිස්සු ද යන්නය.
කවර හෝ හේතුවක් මත මේ කන්නවල වෙළෙඳ භෝග ඵලදාව අතිශයින් වැඩිවී තිබේ. අර්තාපල් සහ ලොකු ලූනු ඵලදාව තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. අතිරික්ත ඵලදාවකට මුහුණ දීම සඳහා මේ රටේ කිසිදු ආණ්ඩුවකට පළපුරුද්දක් තිබුණේ නැත. සාමාන්‍යයෙන් අප නිතරම පුරුදුවී සිටින්නේ අඩු ඵලදාව ගැන සිතමින් සෝසුසුම් හෙළීමට ය. මුං ඇට ඵලදාව ද මේ ආකාරයෙන් හදිසියේම විශාල වීම නිසා අපට මුං ඇටවලින් අසන්නට සිදුවන්නේ මුන්ට පිස්සු ද කියාය.
අපට දැන ගැනීමට තිබෙන පරිදි හම්බන්තොට මුං ඇට ඵලදාවෙන් 6% ක් පමණ මේ වනවිට පෞද්ගලික සමාගම් විසින් මිලට ගනු ලැබ ඇත. ඉතුරු 94% සම්බන්ධයෙන් ආණ්ඩුව කුමක් හෝ කළ යුතුය. එක්කෝ මේ මුං ඇට කිලෝ තිස්පන්ලක්‍ෂය පිටරටකට තල්ලු කිරීම හෝ පිටි බවට පත් කර කල් තබා ගැනීමේ ක්‍රමයක් යොදා ගැනීම ආණ්ඩුව කළ යුතුමය. මේ වූ කලී ලෝකයේ ආහාර හිඟයක් පවත්නා මොහොතකි. මේ මොහොතේ දී ලංකාවේ සමහර බෝග වර්ගවල ඵලදාව ඉහළ යෑම වාසනාවකි. හැබැයි එය කිසිසේත්ම ගොවියාගේ වාසනාව නොවන්නේ ය. මන්ද සාධාරණ මිලකට එම ඵලදාව විකුණා ගැනීමට ගොවියාට බැරිය. එසේම මෙය ආණ්ඩුවේ වාසනාව ද නොවේ. සාධාරණ මිලකට එම ඵලදාව මිලට ගෙන ගබඩා කර තැබීමට අවශ්‍ය පහසුකම් හෝ මුදල් ආණ්ඩුවට නැත. එසේ නම් ස්ථිර වශයෙන්ම මේ ස්වීප් එක ඇදී තිබෙන්නේ කළුකඩ මුදලාලිට ය. එහෙත් මේ තරම් විශාල මුං ඇට තොගයක් කරගැසීමට කළුකඩ මුදලාලිටත් බැරි ය. පසුගිය කාලයේ දී මුං ඇට කොතරම් හිඟවී ද යත් කිලෝව රුපියල් 1800 තෙක් මිල ඉහළ ගියේය. අද ගොවියා කළුකඩේට මුං ඇට විකුණන්නේ කිලෝව රුපියල් 450 කටත් අඩු මිලකට ය.
මුං ඇට ගබඩා කිරීමට අවශ්‍ය ගබඩා පහසුකම් ආණ්ඩුවට නැති බව අප කලින් ද කීවෙමු. මේ රටේ වී අලෙවි මණ්ඩලය දැනට ක්‍රියාත්මක වන්නේ නැත. එම වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා විශාල ප්‍රමාණයක් රට පුරා තිබේ. ඒවා සියල්ලම පාහේ හිස් වී තිබෙන අතර පිරී තිබෙන්නේ පෞද්ගලික අංශයේ ගබඩා පමණි. උදාහරණයක් වශයෙන් දකුණු ආසියාවේ විශාලතම වී ගබඩාවේ හිමිකාරයා ඩඩ්ලි සිරිසේන ය. එය ලංකාවට ආඩම්බරයකි. ඒ ආඩම්බරය තව තවත් වැඩිදියුණු කරගනු පිණිස හම්බන්තොට මුං වගාකරුවන්ගෙන් මුං ඇට කිලෝ තිස්පන්ලක්‍ෂය මිලට ගෙන ඒවා වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර විකිණීම හෝ තම්බාගෙන කෑම ආණ්ඩුවේ යුතුකම ය.
Saru FM Media









