සුරාබදු කොමසාරිස් ජනරාල්
නිසිලෙස බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඩී.එන්.ඒ. පේමරත්න මහතා ඊයේ (29දා) පැවසීය. මේ වසරේ ආදායම සියයට එකසිය අටකින් (108%) වැඩි වී ඇතැයි ද හෙතෙම කීය.
මේ වනවිට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් වැඩි පිරිසක් සුරාබදු ගෙවීම නිසිලෙස සිදුකරන බවත් එම පිරිසට ස්තූතිවන්ත වන සේම එම බදු අයකර ගැනීමට කටයුතු කරන සුරාබදු නිලධාරීන්ට ද ස්තූතිවන්ත වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුරාබදු ගෙවීම සම්බන්ධයෙන් උපදෙස් දෙමින් ඔක්තෝබර් 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවත් එම චක්‍රලේඛයට අනුව හිඟයකින් තොරව බදු ගෙවන ලෙස නිෂ්පාදකයන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය. මේ වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 242ක බදු ආදායම් ඉලක්කයක් දී ඇති අතර මේ වනවිට රුපියල් බිලියන 212.6ක බදු ආදායමක් උපයා ඉතිරි මාස 02 ඇතුළත අපේක්‍ෂිත ඉලක්ක ඉක්මවා යා හැකි බව ද පේමරත්න මහතා කීය. 2024 දී රුපියල් බිලියන 232ක අපේක්‍ෂිත ඉලක්ක ලබාදී තිබූ බවත් ඉන් බිලියන 226.7ක් බදු ලෙස ලබාගෙන තිබෙන බවත් ඔහු කියා සිටියේය.
සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයන් නොවන කර්මාන්තකරුවන් සඳහා ද එතනෝල් ලබාදුන් බව ද එසේ එතනෝල් ලබාදීමේ ක්‍රමවේදය විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමේදී එතනෝල් ලබාගත් විශාල පිරිසක් එතනෝල් ලබාගැනීමෙන් ඉවත් වී ඇති බවත් කී ඒ මහතා, එවැනි අය එතනෝල් ලබාගෙන තිබුණේ ඇත්තටම කර්මාන්ත සඳහා ද යන්න ප්‍රශ්නයක් බව ද කීය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවක හිඟයට ක්‍රමයෙන් පිළියම් යොදමින් සිටින බවත් නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ග්‍රහණ සතියක් ක්‍රියාත්මක කර අද (30දා) දිනයෙන් එම සතිය අවසන් වී සිදුකර ඇති ග්‍රහණ පිළිබඳ වාර්තාවක් මාධ්‍යට ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා
Saru FM Media








