ජාතික ලොතරැයි මණ්ඩලය දෙන තෑගි මුදල් හෝ රජයට ගෙවන බදු අඩු කර නෑ

0
3

මැති ඇමැතීන්ගේ ලිපිවලින් අලෙවි නියෝජිත තනතුරු ගත් අය කෝටියකට වඩා පොලු තියලා
NLB සභාපති කියයි

ජාතක ලොතරැයි මණ්ඩලය ලබාදෙන ත්‍යාග මුදල්වල හෝ රජයට ගෙවන බදු ප්‍රමාණය අඩුකර නැතැයි එම මණ්ඩලයේ සභාපති එම්.ඩී.ඒ. පෙරේරා මහතා ඊයේ (29දා) පැවසීය. හිටපු ඇමැතිවරුන් ඇතුළු හිටපු මහජන නියෝජිතයන්ගේ ඉල්ලීම් මත දිස්ත්‍රික් අලෙවි නියෝජිත තනතුරු ලබාදුන් පිරිසක් ලොතරැයි මණ්ඩලයට රුපියල් කෝටියකට අධික මුදල් ගෙවීම් පැහැරහැර ඇතැයි ද ඔහු කීය.

හිටපු අධ්‍යාපන ඇමැතිවරයකුගේ නැනා කෙනකු 2019දී රුපියල් ලක්‍ෂ 98ක් පමණ (ටිකට් අලෙවි කර) මණ්ඩලයට නොදී පැහැර හැර ඇති බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරිඳ රුපියල් ලක්‍ෂ 21කට අධික මුදලක් ඒ ආකාරයෙන් මණ්ඩලයට නොදී පැහැර හැර ඇති බව ද ඊයේ (29දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා පැවසීය.

මේ ආකාරයෙන් හිටපු මුදල් ඇමැතිවරයකු ඇතුළු මහජන නියෝජිතයන් කීපදෙනකුගේ ඉල්ලීම් (ලිපි) මත අලෙවි නියෝජිත පත්වීම් දී ඇති බවත් එම ලිපි දුන් පිරිසට නොව මණ්ඩලය සමග ගිවිසුම්ගතව මුදල් ගෙවීම් පැහැරහැර සිටින පිරිසට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වංචා විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැමුන්ට නීතිමය පියවර ගෙන ඇති බවත් සභාපතිවරයා කීය. මුදල් ගෙවීම පැහැර හැර සිටින ඇතැම් අය එම මුදල් කොටස් වශයෙන් ගෙවීමට පොරොන්දු වී ඇතැයි ද පැවසූ සභාපතිවරයා වර්තමානයේ කිසිදු මහජන නියෝජිතයකුගෙන් එවැනි ඉල්ලීම් ඉදිරිපත් වී නැතැයි ද කීය.

මෙහිදී අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී ඒ.එම්. අරීෆ් මහතා,

ජාතික ලොතරැයි මණ්ඩලය මෙතෙක් ලබාදුන් ත්‍යාග මුදල් නොදෙන බවටත් ත්‍යාග මුදල් ප්‍රමාණය අඩුකර ඇති බවටත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පුද්ගලයකු අසත්‍ය චෝදනා කරනවා. ඒ පිළිබඳව තවදුරටත් නිහඬව සිටිය නොහැකි නිසා මේ මාධ්‍ය හමුව පවත්වනවා. මේ ප්‍රචාරය නිසා අපේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවී තිබෙනවා.

අපි ලබාදෙන ත්‍යාග මුදල් ප්‍රමාණය අඩුකිරීමක් ුකර නැහැ. අපි දෛනිකව රුපියල් ලක්‍ෂ 10 දිනුම් 01ක් හෝ 02ක් දෙනවා. ලක්‍ෂයේ ජයග්‍රාහකයන් 16ක් 20ක් දෛනිකව බිහිකරනවා. 2024 වර්ෂයේ සුපිරි ජයග්‍රාහකයන් 41ක් බිහිකළා. මේ වසරේ (2025) සැප්තැම්බර් 30 වනවිට 40 දෙනකු බිහිකරලා තියෙනවා. 2024 ප්‍රථම ත්‍යාග 881ක් ලබාදුන් අතර 2025 සැප්තැම්බර් 30 වනවිට එම ප්‍රමාණය 1095ක් වී තිබෙනවා.

ලංකා ඉතිහාසයේ වැඩිම දිනුම එනම් කෝටි 47 දුන්නේ අපි. මීට පෙර කෝටි 27 දුන්නෙත් අපි. සමහර අවස්ථාවල ජයග්‍රහණය කරන පුද්ගලයන් මාධ්‍ය ප්‍රචාරය කරන්න එපා කිව්වම අපි එය කරන්නේ නැහැ. නමුත් අපි ඒ අයගේ දත්ත තියා ගන්නවා. මහ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 4.4ක් දුන්නා. 2025 සැප්තැම්බර් 30 වනවිට මහ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 4.1ක් දී තිබෙනවා. වකුගඩු අරමුදලට 2024දී රුපියල් මිලියන 32ක් දී තිබෙනවා. 2025 සැප්තැම්බර් 30 වනවිට රුපියල් මිලියන 57ක් දී තිබෙනවා.

රුපියල් 40කට ලොතරැයි පතක් අලෙවි කරන අතර ඉන් රුපියල් 23ක් ත්‍යාග මුදල් ලෙස වෙන් කරනවා. ලොතරැයි අලෙවිකරුවන්ට කොමිස් වශයෙන් එක් ලොතරැයියකින් රුපියල් 08ක් දෙනවා. ඉතිරි රුපියල් 09න් සමාජ ආරක්ෂණ, වැට්, මුද්‍රණ කටයුතු, ගොඩනැඟිලි කුලී, වැටුප් ඇතුළු වියදම් පියවනකොට සුළු ලාභයක් ලැබෙනවා. අපි දෛනිකව ටිකට් පත් ලක්‍ෂ 37ක් අලෙවි කර ඉන් රු. මිලියන 150කට ආසන්න මුදලක් උපයනවා. කුලී පදනම මත ඉන්න ගොඩනැඟිල්ලට මාසයකට ලක්‍ෂ 80ක් දෙනවා. මේ වනවිට අලුත් ගොඩනැඟිල්ලක් හෝ අපිට තියෙන ඉඩමේ ගොඩනැඟිල්ලක් හදන්න භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කර තියෙනවා.

මෙහිදී අතිරේක සාමාන්‍යාධිකාරී නීතිඥ සජීව එදිරිසිංහ මහතා ද අදහස් දැක්වීය.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here