කලවානේ අති දුෂ්කර පාසලක හරි අපූරු ශිෂ්‍යත්ව ජයක් පුංචි ටීචර්ගේ පුංචි පහේ හපන්නු

0
8

පන්තියේ පස්දෙනාගෙන් තුදෙනෙක් සමත්: – ඉතිරි දෙදෙනාටත් ලකුණු 120 ට වැඩියි
ටීචර් අමාගේ චරිතය හරිටම නිරූපණය කළ නිළිය ලෝචනා ඉසුරින්දිට මල් මිටක්

කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ අති දුෂ්කර පාසලක් වන පනහැටගල විද්‍යාලයේ දරුවන් තිදෙනකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව තිබෙනවා. එම විද්‍යාලයෙන් මෙවර දරුවන් පස් දෙනකු ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත්වී ඇති අතර ඉන් දරුවන් තිදෙනකු කඩඉම් ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති අතර අනෙත් දරුවන් දෙදෙනාද ලකුණු සියයට වැඩියෙන් ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

නගරයේ පාසල්වල මෙන් පාරවල් පහසුකම් කිසිවක් නොමැති මෙම දරුවන් මෙම ජයග්‍රහණ ලබා ගෙන තිබේ. එම පාසලේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට උගන්වා සූදානම් කළ ගුරුවරියක වන ලෝචනා ඉසුරින්දි මහත්මිය දරුවන්ගේ ජයග්‍රහණය පිළිබඳව හඬමින් සිය මුහුණු පොතේ තැබූ සටහනක් මුළු රටේම අවධානයට, කතාබහට ලක්විය. පැය කිහිපයක් ඇතුළත එම වීඩියෝව මිලියන තුන (ලක්ෂ තිහක) පිරිසක් නරඹා වෛරල්ව තිබුණි. මේ ඒ පිළිබඳව සටහනකි.

රටේ සමස්ත ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් බැලූ කල මෙම පාසලට වඩා ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සිටින පාසල් තිබේ. එහෙත් මෙම පාසලේ මෙම ජයග්‍රහණය පිටුපස හරි අපූරු කතාවක් ගැබ්ව ඇත. කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි පාසලක් වන පනහැටගල විද්‍යාලය ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබේ.

එහෙත් එහි ඉගෙනුම ලබන දරුවන්ට හා ගුරුවරුන්ට දරා ගන්න වන දුෂ්කරතා එමටය. හරි මගක් තොටක් නොමැති පනහැටගල ගගෙන් පාරුවකින් එගොඩ වී පාසල වෙත යන ගුරුවරුන් වෙතින් එම දරුවෝ එහි අධ්‍යාපනය ලබති. මේ දරුවන් අත්දකින දුෂ්කරතා ඔවුන්ගෙන් මඟහරවා ලන්නේ ඒ පාසලේ විදුහල්පතිවරයා හා ගුරුවරුන් විසිනි. නගරයේ පාසල්වල මෙන් සුපිරි සැප පහසුකම් නොමැතිව දැනුම පිපාසයෙන් පැමිණෙන දරුවන්ගේ මනස සුවපත් කරමින් දරුවන්ට දැනුම ලබාදීම මෙහිදී ගුරුවරු සිදු කරති.

ඒ අතරින් සුවිශේෂී චරිතයක් වන්නේ අපේ කතා නායිකාව වන එම පාසලේ පහ ශ්‍රේණිය භාර ගුරුතුමිය වන ලෝචනා ඉසුරුන්දි ගුරුවරියයි.

මෙවර එම පාසලේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය පිටුපස විශාල කැපකිරීම් රාශියක් ඇය විසින් සිදු කර තිබේ. සම්මානලාභී රංගන ශිල්පිනියක් වන ඇය අවිවේකී ජීවිතයක් ගත කරයි. එක පැත්තකින් ගුරු වෘත්තිය මෙන්ම අනෙත් පැත්තකින් රංගන ජීවිතය සමබර කරමින් කටයුතු කිරීමට ඇයට සිදුව තිබේ. කලවාන ප්‍රදේශයේ ජීවත් වන ඇය උදේ පාන්දර අවදී වී කිලෝ මීටර් ගණනක් දුර ගෙවා දමා පනහැටගල වෙත ගොස් පාරුවකින් පනහැටගල ගඟෙන් එගොඩ වී තවත් දුරක් දුෂ්කර මගක් ඔස්සේ පාසල වෙත යයි. එහි ගොස් දරුවන් වෙත උගන්වා නැවත නිවස වෙත අර දුෂ්කර ගමන පැමිණ කොළඹ හෝ අනුරාධපුර වැනි ඉතා දුර පළාත්වල තිබෙන රංගන කටයුතු සඳහා පිටත්ව යයි.

ඇය ආපසු කලවාන වෙත පැමිණෙන්නේ දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීමට නැවත පාන්දර පාසල වෙත යෑම සඳහාය. බොහෝ විට එම ගමන රාත්‍රී කාලය වන අතර හිතේ හයියෙන් ඇය පැමිණේ. කෙසේ වෙතත් එහි ඉගෙනුම ලබන දරුවන් අධ්‍යාපනය ලබන්නේ අපූරු අද්දැකීම් සමගය. විටක කෙත් යායක ගොයම් කැපීමට දරුවෝ ඇය සමග කමත වෙත යති. ඔවුහු සරුංගල් යවති. ඇය සමග සෙල්ලම් කරති. ගම්මානයේ තියෙන කොස්, බර කොකු, මියණකොකු ආදිය කඩාගෙන විත් උයාගෙන කති. ගහක වැලක හැදෙන ගඩා ගෙඩි කඩන් කන්නේ පොලු වලින්, ගල් වලින් ගසා කඩා ගනිමිනි. ඒ පිටුපස ලෝචනා ටීචර්ද දරුවන් සමග සිටිති. ඇයට අමතන්නේද (පුංචි ටීචර් යනුවෙනි).

මෙම ශිෂ්‍යත්ව ජයග්‍රහණය පිළිබඳව ලෝචනා ඉසුරින්දි මහත්මිය මෙලෙස ප්‍රකාශ කළාය.

අද ඇත්තටම මට ඉතාම සතුටු දවසක්. මගේ දරුවන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේ පාසලෙන් හිටියේ දරුවෝ පස් දෙනයි.

එයින් තුන් දෙනෙක් කඩඉම් ලකුණු ලබා ගනිමින් සමත් වෙලා. අනිත් දරුවෝ දෙන්නත් ලකුණු එකසිය විස්සෙන් ඉහළ ලකුණු අරන් තියෙනවා. මේක මම තනියෙන් ලබා ගත්ත ජයග්‍රහණයක් නෙමෙයි, අපේ පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් දෙමාපියන් මට ලබා දීපු සහයෝගයෙන් ලැබිච්චි ජයග්‍රහණයක්. මොකද දෙමාපියන් මට අවශ්‍ය විදියට දරුවන්ට උගන්වන්න නිදහස ලබා දුන්නා.

හද්දා දුෂ්කර පාසලකට පාරුවෙන් ඇවිත් පයින් ඇවිත් තමයි මගෙ පන්තියේ ළමයි පහ ඉගෙන ගත්තෙ. හැබැයි මොන කටුකත්වෙ තිබ්බත් එයාලා සැප හෙව්වෙ නෑ.

නාගරික මෙන් දියුණු නොවුන ගමක ලස්සන අඩි පාරවල් දිගේ වතුර කඩිතිවලින් පැන පැන ඇවිත් එයාලා ඒ දේ කළා. 3, 4 සහ 5 ශ්‍රේණි ඒ කියන්නෙ අවුරුදු 3 ක් ළමයි 5 මගෙ තුරුලෙ හිටියා. ඉතිං අපි පවුලක් වගේ ඔහේ ජීවත් වුණා.

මගෙ ජීවිතේ අසීරුම කාලෙ පවා මාව සතුටින් තිබ්බෙ එයාල පස්දෙනා. Shooting ගිහිනුත් පහුවෙනිදට ඉස්කෝලෙ එන්නම ඕනි නිසා මහ රෑ තිස්සේ පාලු පාරවල්වල මහ මිනිහෙක් වගේ කොහොම හරි කලවානට එන හැටි මතක් වෙනවා මට. ඉතිං පාරක් පාරක් ගානෙ රස්තියාදු වෙලා සමහර දවස් පාන්දර 6.30ට ගෙදරට ඇවිත් එහෙන්මම ඉස්කෝලේ යනවා. ඒ ඔක්කොම මහන්සිය ඉවරයි උදේට පස්දෙනාව දැක්කාම. එයාලා ඒ මහන්සියට සාධාරණයක් කළා. වෙනදටත් මාව සතුටු කළේ මගෙ ළමයි පස්දෙනා. අද මට එයාලා දරා ගන්න බැරි තරම් සතුටක් දීලා තියෙනවා.

මේ සතුටට මගේ පාසලේ විදුහල්පතිතුමාව ඉහළින්ම මතක් කරන්න ඕනි. මේ කාලය තුළ සර් හුස්මක්වත් ගත්තද සැකයි. ඒ තරම්ම සර් කැප වුණා. ඔහු වැනි අයෙක් තවත් සිටීද කියලා හිතෙන තරමටම මගෙ දරුවො පස්දෙනා වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කළා. ඇත්තටම සර්ට ගොඩාක් පිං. ඒ වගේම 1, 2 ශ්‍රේණි ඉගැන්වූ දනුෂ්කා සහ සමන්තා ටීචලා දෙන්නටත් රුවිනි සහ ඉශාරා ටීචලා දෙන්නටත් මේ හැම ගෞරවයක්ම හිමි වෙනවා. දුවගෙන ගිහින් මම මොන දේ ඇහුවත් ඔක්කොම වැඩ පැත්තකින් තියලා එයාලා ගොඩක් උදව් වුණා. මෙතෙක් මගෙ දරුවන්ට අකුරක් හෝ කියල දුන් සෑම අයෙක්ටම ස්තුතියි. ඒ වගේම මගෙ ළමයින්ගෙ දෙමව්පියන්ට ගොඩක් ස්තුතියි. අවුරුදු තුනක් තිස්සෙ එයාලා මාව විස්වාස කළා. මම මොනවද කරන්නෙවත් කවදාවත් ඇහුවෙ නෑ. ප්‍රශ්න කළේ නෑ. අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න දුන්නා. අපි අපිට ඕනි දේවල් කරා. නිදහසේ හිටියා. කුඹුරෙ පැන්නා, දොලේ ගියා, මෑ බෝංචි, මුං ඇට අහු වුණු දෙයක් උයන් කෑවා. තණකොළ ගැලෙවුවා. ගස් උඩ නැග්ගා. අහු වෙන අහු වෙන කැලෑ කොළ, ගඩා ගෙඩි, යකා ගොටු කෑවා. ඉගෙන ගත්තා. කොයි වෙලේකවත් බලපෑම් කරේ නැති නිසා අදටත් මම පාසල් එන්නෙ සතුටින්. රතනපුර දිස්ත්‍රික්කයේ 136 ජමඑ දff ප්රන එක වෙද්දී මගෙ ළමයි ලකුණු 148, 147 137, 132 සහ 127 ගත්තා. පුතේ උඹල පහ මට මහ මෙරක්. හැබැයි හැමදාම කිව්වා වගේ මම අදටත් එයාලට කියනවා ශිෂ්‍යත්ව නෙවෙයි ජීවිතේ. මෙතන ඉඳලයි ඉස්සරහට ඉගෙන ගන්න ඕනි කියලා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් ප්‍රකාශ කළේ මෙවැන්නකි. ශිෂ්‍යත්ව විභාගය ජයග්‍රහණය ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම දුකකුත් තියෙනවා, ටීචර් දාලා වෙන ඉස්කෝලෙකට යන්න වෙච්චි එක ගැන. අපි පාසල් ගියේ පාරුවලින් එගොඩ වෙලා ගොඩාක් දුෂ්කර පාරක ගිහින්. ඒත් ඒ අමාරුව දැනෙන්නට අපේ ටීචර් දුන්නේ නැහැ. එයා අපිත් එක්ක සෙල්ලම් කළා. කොස් කඩලා තම්බලා කෑවා, පලතුරු කඩාගෙන කෑවා. ඒ වගේම හොඳින් ඉගැන්නුවා. ඉතින් අද අපි ලබපු ජයග්‍රහණය පිටුපසින් ඉන්නේ අපේ ලෝචනා ටීචර් තමයි.
කලවාන අතිරේක – උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ කලවාන – රණසිංහ ආරච්චි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here