දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (16) අලුයම සිට නැවත ආරම්භ වී ඇත.
අද සිට පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර කොළඹ කොටුව සිට පුත්තලම දක්වාම දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (15) නිවේදනය කර තිබුණි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි නිසා තාවකාලිකව නවතා තිබූ මෙම මාර්ගයේ මගී දුම්රිය ධාවනය අදියර කිහිපයක් යටතේ මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය, කුඩා වැව යන දුම්රිය ස්ථාන දක්වා දීර්ඝ කරන ලද අතර අවසාන වතාවට දෙසැම්බර් 29 වෙනිදා හලාවත දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කෙරිණි.
හලාවත සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර පිහිටි බත්තුළුඔය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදායාම, තිල්ලඩිය උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම, මානුවන්ගම උප දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ස්ථාන ගණනාවකින්ම දැදුරු ඔයට දුම්රිය මාර්ගය යටින් සෝදා යාම වැනි බරපතළ ආපදා හේතුවෙන් මෙසේ පුත්තලම දුම්රිය ස්ථානය දක්වා ධාවනය බිඳවැටී තිබුණි.
කෙසේවෙතත් ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේ, අද අලුයම 4.30ට පුත්තලම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලයීය දුම්රිය, ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මගීන් නොමැතිව ධාවනය වූ බවය.
එමෙන්ම අද අලුයම 4.00ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ කාර්යාලීය දුම්රිය, ආපදාවෙන් පසුව පුත්තලම දක්වා ධාවනය වූ පළමු දුම්රිය ලෙස සේවයට එක්කර තිබුණි.
Saru News










