පොලිසියට මඩ ගහන්න ආධාර කළැයි SDIG ට එරෙහිව CID විමර්ශන

0
2

යූටියුබ්කරුවන් සමග සාකච්ඡා කරන හඬපටත් එළියට

පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය රහසිගත සංවේදී තොරතුරු යූටියුබ් මාධ්‍යකරුවන්ට ලබාදී පොලිස්පතිවරයාගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පහළින් ඉන්නා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම තැනක සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යූටියුබ්කරුවන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඔවුන්ට උපදෙස් ලබා දෙන හඬපට රැසක් ද මේ වනවිට විමර්ශන නිලධාරීන් වෙත ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ද කර ඇති අතර විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදීමට ද කටයුතු කර ඇත.

යූටියුබ් මාධ්‍යවේදියකු වන විමල් ජයසේකර මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදුකරන ලදැයි කියන මෙම සැලසුම් පිළිබඳ කරුණු අනාවරණය වී ඇත.

පොලිස්පතිවරයාට සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ මඩ ප්‍රවෘත්ති විකාශය කිරීම සම්බන්ධයෙන් තවත් යූටියුබ් මාධ්‍යකරුවකුගෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම මඩ ප්‍රචාර සිදුකළ බව කියන අදාළ පොලිස් නිලධාරියා යූටියුබ් මාධ්‍යවේදියකු සමග දුරකථන සංවාද කීපයක් පවත්වා ඇත.

ඒ අනුව අදාළ යූටියුබ් මාධ්‍යවේදීන් සමග ඔහු සිදු කළ ප්‍රකාශවලින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කරගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සහ පාතාලය මැඬලීමේ වැඩපිළිවෙළට විශාල හානියක් සිදුවන බව විමල් ජයසේකරට හැඟී ගොස් ඇත.

ඒ හේතුව නිසා බිමල් ජයසේකර මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ යූටියුබ්කරුවන් අතර සිදුවූ හඬපට 12ක් පමණ පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

පසුගිය කාලසීමාවේදී පොලිස්පතිවරයාගේ සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීර්ති නාමයට හානි වන යූටියුබ් සංවාද මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රවෘත්ති ද විශාල වශයෙන් පළවී තිබිණි.

චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here