පාතාල මැරයන් පිරිසිදු කරන දේශපාලන ලොන්ඩරි!

0
3

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන සමාජ – දේශපාලන සංවාදය තුළින් බොහෝ විට ඇසෙන්නේ පාර්ශ්වීය බැඳීම් මත පදනම් වූ විවේචන, නිරීක්‍ෂණ හා චෝදනාවන්ය. ඝාතනය, හිංසාව කිසිවකුට අනුමත කළ නොහැකි ම්ලේච්ඡ හා අධම අපරාධ බව ශිෂ්ට සමාජය පිළිගනී. එහෙත් මේ අනීතික අපරාධ ප්‍රතිචාර මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එන්නකි. ගෝත්‍රික සමාජවල සිටම නූතන දියුණු සමාජය දක්වාම මේ ඝාතනය, හිංසාව අපට දැකගත හැකිය. ගම්වල වැට මායිම්වලට මරා ගනිති. ප්‍රේම සබඳතා කඩවීම් ඇතුළු අනියම් සබඳතා නිසා ද මරා ගනිති. ගුටිකෙළි හා වෙනත් ප්‍රතිචාර ද අප්‍රමාණව දැකගත හැකිය. සිංහල බොදුනුවන්ගේ පරම පූජනීය බුදුන්වහන්සේ මරා දැමීමට දෙව්දත් නමැති මහණ කෙනකු විසින් දරන ලද උත්සාහයන් අලළා ලියැවුණු කතා බෞද්ධ සාහිත්‍යයෙහි එයි. ජාතක කතාවලින් හෙළිවන ඒ වෛරය කූටප්‍රාප්ත වූ ආකාරය බුදු සිරිතෙහි ද දැක්වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කුරුස වධය නියම වූ ආකාරය ද කිතු සිරිතෙහි දැක්වේ.

මෙසේ ලෝක ප්‍රජාවගේ ආධ්‍යාත්මික උතුමන්ගේ චරිත කතා සමග ද බැඳී තිබෙන ඝාතනය, හිංසාව ඉන් මෙපිට පුහුදුන් සමාජවල ක්‍රියාත්මක වන ආකාරය ද කවුරුන් දනිති. එහෙත් කිසිවකු ඝාතනයට හිංසාවට ලක් විය යුතු නැත. ප්‍රචණ්ඩත්වය, සාහසිකත්වය ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියට නූතන රාජ්‍ය පාලකයන්ට ද විසඳුම් ලබාදිය නොහැක. මිනිසකු මැරීම නිසා එල්ලුම්ගහට යැවීමේ නීතිය ද දැන් මේ රටේ අත්හිටුවා තිබේ. එහෙත් විදුලි පුටුව හා එල්ලුම්ගහ ක්‍රියාත්මකව පවතින රටවල් ද වේ. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවට බුදුන් වදාළ දහම පිළිගත් මෛත්‍රිය වඩන බොදු සමාජය තුළ මේ අපරාධ සිදුවේ. අසල්වැසියාට ප්‍රේම කරන්නැයි ද එක් කම්මුලකට පහර දුන්නොත් අනෙක් කම්මුල ද පාන්නැයි ඉල්ලූ කිතුනු දහම පිළිගත් අය අතර ද මේ අපරාධ සිදුවේ. එයින් පෙනී යන්නේ ආගමික විනය තුළින් වුව ද අපරාධ සිදුවන බවය.

අද අපරාධ සිදුවන්නේ ඊට බෙහෙවින් වෙනස් සමාජ – දේශපාලනයක් තුළය. දේශපාලන ඝාතන, ඝාතන සංස්කෘතිය, ඝාතන රැල්ල වැනි යෙදුම් ද වේ. ඉහත සඳහන් කළ පරිදිම මේ කිසිදු ඝාතනයක් සාධාරණ හෝ යුක්තිසහගත නැත. ඝාතනය ම්ලේච්ඡය. අශිෂ්ටය. අමනය. දේශපාලනය යනු මහජන සුබසෙත සඳහා සිදු කෙරෙන යහපත් සත්පුරුෂ ව්‍යාපාරයකි. එහෙත් ඒ සත්පුරුෂ මානවවාදී ක්‍රියාව සඳහා යොමු වන දූෂිත, අශ්ලීල, අනීතික ක්‍රියාකාරකම් නිසා කිලිටි වූ චරිත ඒ ඒ දේශපාලනය තුළ සිටීම අද තිබෙන සමාජ ප්‍රශ්නයකි. දේශපාලනය අපරාධ කිරීමට සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට බලපත්‍රයක් බවට පත්ව තිබීම අද උග්‍ර සමාජ අර්බුදයකට තුඩුදී තිබේ.

විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු සජබයේ ක්‍රියාකාරී දේශපාලනඥයකු ලෙස ජනවරමක් ලබාගත් අයෙක් වීම නිසාය. එසේම ඔහු ප්‍රශ්න කරන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයෙක් මහජන දිනයක් පවත්වමින් සිටියදී ඔහුගේ නිල කාමරයට පැමිණ වෙඩිතබා ඝාතනය කිරීම බරපතළ ප්‍රශ්නයකට, අවිශ්වාසයකට හේතු වී ඇති බවය. විපක්‍ෂයේ වෙනත් අය ද ප්‍රකාශ කළේ අධිකරණ ක්‍රියාදාමයක් අනුගමනය නොකළ ආණ්ඩුව ඒ ඝාතනය පාතාල ගැටුමක් ලෙස දක්වා ඇඟබේරාගැනීමට සැරසෙන බවය.

දේශපාලන පක්‍ෂවලට අයත් නොවූ සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ චෝදනාව එල්ල වී ඇත්තේ ද ආණ්ඩුවටය. ජාතික ආරක්‍ෂාව මෙන්ම මහජන ආරක්‍ෂාව සැපයීමේ වගකීම ඇත්තේ ද ආණ්ඩුවටය. ජයවර්ධන යුගයේදී ජනාධිපති ජයවර්ධන විසින් කරන ලද තමන්ගේ ආරක්‍ෂාව තමන්ම බලාගත යුතුය යන ප්‍රකාශය එදා ‘දිවයින’ හැඳින්වූයේ නපුංසක ප්‍රකාශයක් ලෙසය. ඒ ප්‍රකාශය වරදවා ගත් ජයවර්ධන පාලනය එය පුද්ගල අපහාසයක් ලෙස පවසමින් ‘දිවයින’ සමග රණ්ඩුවකට ද පැටලුණි. එහෙත් ජනතාවගේ ආරක්‍ෂාව සැලසීම ආණ්ඩුවක වගකීම බව අදත් අපි කියන්නෙමු.

මහජන නියෝජිතයන් පමණක් නොව මේ සමාජයේ ජීවත්වන කිසිම පුද්ගලයකු ඝාතනය කිරීමට ඉඩදී ආණ්ඩුවක් බලා සිටින්නේ නම් එය බරපතළ තත්ත්වයකි. සමාජය තුළ සාමය රැකීම සඳහා පොලිසියකුත් සමාජ විරෝධී ක්‍රියාකාරීන් පිළිබඳ නිගමනය කිරීමට අධිකරණයකුත් එයින් වැරදිකරුවන් වන අය රඳවාගැනීමට හිරගෙයකුත් තිබේ. මේවාට අමතරව යුක්තිය පසිඳලීමට කිසිවකුට අයිතියක් නැත. විපක්‍ෂනායක සජිත් චෝදනා කරන්නේ මිනීමරුවන්ට, මංකොල්ලකරුවන්ට අපරාධ කිරීමට රජයේ දුර්වලතා නිසා දොරටු විවෘතව ඇති බවට ය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සඳහා අර්බුදයක් තිබුණි. ආණ්ඩුවේ මැදිහත්වීම් ද සිදුවිය. ඒ ක්‍රියාවලිය අනුමත කළ නොහැකි විකෘතීන්ගෙන් කිලිටි වූවකි. කුමක් වුවත් ලසන්තට නීත්‍යනුකූලව එම ධුරය හිමිවිය. ඔහුගේ පැටිකිරිය හෝ අතීතය පිළිබඳ විමසා බැලීමට ආණ්ඩුවට ඕනෑ තරම් ඉඩ තිබුණි. එහෙත් ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමටත් පෙර සිටම ඔහු පිළිබඳ කළ විවේචන සදාචාරාත්මක නොවේ. ඒවා තමන්ගේ දුබලතා සැඟවීමට කරන ප්‍රකාශ ලෙස හැඳින්වීම ද වැරදි නැත.

මෙය මෙරටේ පවතින අශ්ලීල ග්‍රාම්‍ය දේශපාලනය සමග බැඳී තිබෙන බව අපගේ ද අදහසය. ප්‍රජාතන්ත්‍රවාදය හා විසිල් අයිතීන් පිළිබඳ අවධානය යොමු කළ අයගේ අදහස වූයේ පාතාලය, මත්කුඩු, අධිකරණයේ නඩු හබ, අපරාධවලට කවර හෝ දඬුවමක් ලබා තිබීම යන කරුණු දේශපාලන පක්‍ෂවලින් නොතකා හරිමින් ඔවුන් මහජනයා ඉදිරිපිටට යැවීම නොමනා ක්‍රියාවක් බවය. ඒ චර්යාත්මක පිළිවෙත නොතකා ඔවුන්ට ගරු මන්ත්‍රීවරුන් ලෙස සමාජයේ පෙනී සිටීමට ඉඩදීම බලවත් වරදකි. එහෙත් එයට අදාළ මැතිවරණ නීතියක් නැත. ඕනෑම පාදඩයකු ස්ත්‍රී දූෂකයකු, අපරාධකාරයකු පිරිසිදු කරන ලොන්ඩරි බවට මෙරටේ දේශපාලන පක්‍ෂ පත්වී නැතැයි, ඒවායේ කාට හෝ කිව හැකිද?

කලකට පෙර දකුණේ කිසියම් දේශපාලන අමනයකු විසින් කතුන් සියයකට කිට්ටු ප්‍රමාණයක් අපහරණය කරන ලද බවට කතාවක් තිබේ. ඒවා වීරකම්ද? සල්ලාලකම, අඹුසොඬකම අගය කළ යුතු දේවල් ද?

සමාජ ආකල්ප වටිනාකම් ආදිය වුවත් කාලානුරූපව වෙනස් විය හැකිය. ස්ත්‍රීන්ගේ ඇඳුම් ගැන අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙහි එන ඇතැම් නියමයන් අදට නොගැළපෙන බවට සමහරු තර්ක කරති. විලාසිතා කරන රූප රැජිනියන් ගැන ද විවිධ අදහස් තිබිය හැකිය. එහෙත් ඒවා පොදු ජාතික සංස්කෘතික හර පද්ධතීන් සමග නොගැටෙන වෙනස්කම් විය යුතුය.

ලසන්තගේ අවසන් කටයුතුවලට සහභාගිවීමට ගිය විපක්‍ෂනායක සජිත්ගෙන් ඔහුගේ මව කළ ආයාචනය මාධ්‍යවලින් රටටම ඇසුණි. ඒ මියගිය සිය පුතුගේ චරිතය ඝාතනය නොකරන ලෙසය. පාර්ලිමේන්තුව තුළ ඔහුව විවේචනය නොකළ යුතු බව මේ අහිංසක අම්මා කියන්නීය. ඒ තමා මාතෘත්වය. හිරගෙයි සිටින පුතුගේ ජීවිතය රැක දෙන ලෙස අම්මලා ඉල්ලති. අංගුලිමාල ඇල්ලීමට රජ අණ ලද වහාම තම පුතු බේරා ගන්නට වනයට ගිය අම්මා ගැන බොදුනුවෝ මෙන්ම සාහිත්‍ය රසිකයෝ ද දනිති.

මේ රට අන්තයට පිරිහී තිබෙන රටක් බව කියනු ඇසෙයි. කලකට පෙර ලංකාව මිනී කන්නන්ගේ දේශයක් බව පැවසෙන චිත්‍රපටයක් මේ රටට ගෙනවුත් තිබුණි. ‘දිවයින’ එයට එරෙහිව නැගී සිටියේය. චිත්‍රපටය ප්‍රදර්ශනය නොවුණි. එහෙත් අදත් මෙරටේ පාදඩයන්, ඝාතකයන් මත්කුඩු ජාවාරම්කරුවන් ආදී විවිධ දුශ්චරිත එළිපිටම හැසිරෙනු පෙනේ. ජනාධිපති අනුර කුමාර පවසන පරිදි ජනතාව තෝරා ගත් ආණ්ඩුවට අමතරව කළු ආණ්ඩුවක් ද තිබේ. ඒ කළු ආණ්ඩුව වෙනුවෙන් ඇරී තිබෙන කළු ආයතන පද්ධතියක් ද තිබේ. කළු සල්ලි සුදු කරන බව ද කියති. ඒවාට එරෙහි අභිනව ක්‍රියාත්විතයක් එළැඹෙන 30 වැනිදා රට එකට නමින් ජනගත වීමට ද නියමිතය. ‘විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම’ එහි තේමාවය. මුළු රටම එයට එක්විය යුතු බව අපගේ ද අවධාරණයයි.

මේ රට සමාජ – ආර්ථික හා දේශපාලන වශයෙන් ගිලී තිබෙන අර්බුදය සමග බැඳුණු ප්‍රබලතම හා බිහිසුණුම ව්‍යසනය ගම් දනව් දක්වා ද පැතිර ගොස් තිබෙන මත්කුඩු, අයිස්, හෂීස් ඇතුළු විවිධ නම් වලින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය භාවිතයයි. පාතාලය ලෙස ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වය, ඝාතන ක්‍රියාදාමය මේ මත් ජාවාරම සමග බැඳී තිබෙන්නකි. මෙතෙක් බලයේ සිටි බොහෝ අයගේ අනුග්‍රහය, රැකවරණය මේ දූෂිත ව්‍යාපාරයට ලැබුණි. ‘කුඩු’ යන ගර්හිත හැඳින්වීම සහිත නම් දේශපාලනයේදීත් ඇසෙයි. දැනටමත් අත්අඩංගුවට පත්ව සිටින පාතාලයන් මේ මත්කුඩු ජාවාරම්වලින් උපයාගත් ධනය රජය සතු කළ රාජ්‍ය වත්කම් බවට පත්ව තිබේ. අප තවමත් නොදන්නා ඌවේ සභාපතිවරයකු පාතාලයකුට දක්වන ලද අනුග්‍රහයකින් මාසිකව ලක්‍ෂ ගණනක මුදලක් උපයාගෙන ඇතැයි කියනු ද ඇසුණි. ඒ ජනාධිපති අනුර පැවසූ කළු ආණ්ඩුවේ නියෝජිතයෙක් දැයි රටට හෙළි කළ යුතුය. මෙබඳු දූෂිත ක්‍රියාකාරකම් තව කොපමණ තිබිය හැකි ද? ඇත්තටම බොහෝ අපරාධකරුවන්, විවිධ ජාවාරම්කරුවන් සමාජගත කළ දේශපාලනයට ජනතාව ලෙස බොහෝ දෙනෙක් ද හවුල් වී සිටිති. අපරාධ රාජ්‍ය, කළු පාලනය යන යෙදුම් අද අපට නිබඳව ඇසෙයි. රජය හා පොලිසිය යන ආයතන මේවාට වගකිව යුතු බව කවුරුත් දනිති.

සමාජ – දේශපාලන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබඳ සංවාදයක් තිබුණත් ඒ වෙනුවෙන් දේශපාලන සංස්කෘතිය තුළ දෘෂ්ටිවාදී එකඟතාවක් ඇති වී නැත. මේ දිනවල ශ්‍රී ලාංකික දිනයක් පිළිබඳව ද කතිකාවක් ඇසෙයි. ජාතික නිදහස් දිනය නොපිළිගන්නා අන්තවාදීහු අදත් සිටිති. ආගමික හා ඓතිහාසික උරුමයන් පිළිබඳව තිබෙන විරසකය රහසක් නොවේ. පන්සල, පල්ලිය, කෝවිලත් සිංහල, දෙමළ හා මුස්ලිම් අනන්‍යතාව හා සංස්කෘතික වටිනාකම් නොරුස්සන ජන කොටස් ජාතික සමගියට ද හරස් වන්නෝය. දේශපාලන වශයෙන් තිබෙන බෙදීම හා වෛරය නිසා ජනතාව ද බෙදී සිටිති. අප බොහෝදෙනකුගේ පැතුම දූෂණ, භීෂණ, ව්‍යසන නොමැති ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. ජාතීන් අතර බැඳීම තීව්‍ර කිරීමට ජාතික දිනයක් ඉවහල් වන්නේ නම් එය අතිශය සාධනීය තත්ත්වයකි. සාහිත්‍යය, කලාව, සිනමාව ඒ ජාතික සමගිය සඳහා ලබා දුන් දායකත්වය ද බොහෝය. එකල වර්ගවාදී හිසේරුදාවන් ද නොවීය. කොළඹ යුගයේ දීප්තිමත් කවියකු වූ කේයස් හෙවත් සාගර පලන්සූරිය ලියූ කවියක් අදත් මගේ මතකයෙහි රැඳී තිබේ.

පැයකදි එකට හමුවන තැන ඇත දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවකු වෙද කොතැන
සුරුට්ටුවට එක්වී උතුරේ ඔතන
භේදය පිලිස්සී හමුවේවා දකුණ

ජාතික දිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට සියලු ජාතීහු ද එකට සිටිය යුතු වෙති. මෙරටේ බලයට පත්වූ සියල්ලන්ගෙන්ම ජනතාව අපේක්‍ෂා කළේ රට නැංවීමය. ජාතීන් අතර සමගිය ය. බොහෝ විවේචන චෝදනා තිබුණත් ජනතාව ඒ එකම පිරිස මාරු කරමින් බලා සිටියේ දැන්වත් මොකක් හරි සිදුවිය හැකිය යන අදහසින්ය. ඒ අරමුණු ඉටු නොකිරීම ගැන ඔවුන් විසින් දෙන ලද දඬුවම ද පැහැදිලිය. කෙසේ හෝ වේවා දැන් මේ ආණ්ඩුව අබියස ඇත්තේත් ඒ ජනතා පැතුම් හා අපේක්‍ෂාවන් සපිරි හෙට දවසක් පිළිබඳ අභියෝගයයි.

මේ අතර නොවැ. 21 වැනිදා විපක්‍ෂයේ ඒකාබද්ධ රැලියක් නුගේගොඩදී පැවැත්වෙන බව ද වාර්තා වී තිබේ. එජාපය, පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය වැනි පක්‍ෂවල නියෝජනයක් සහිතව මාධ්‍ය හමුවක් ද 27දා පැවැත්විණි. උදය ගම්මන්පිල ඇතුළු තවත් පක්‍ෂ කීපයක් එයට එක්ව සිටියත් සජබයේ නියෝජනයක් නොවීම ද කැපී පෙනුණි. හිටපු ඇමැතිවරුන් මෙන්ම එජාප හා පොදුජන පෙරමුණේ මහලේකම්වරු ද එහිදී අදහස් දැක්වූහ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම, ආණ්ඩුවේ ෆැසිස්ට්වාදයට එරෙහිවීම වැනි තේමාවන් ගැන ද කරුණු සඳහන් විය. පොලිසිය සම්බන්ධයෙන් දැඩි චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් විය. මෙහිදී සජබය හා පක්‍ෂ නායකයන් කීපදෙනකුගේ සහභාගිත්වය ගැන ද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

මෙයට සමාන්තරව තවත් මාධ්‍ය හමු දෙකක් ද පැවැත්විණි. එකක් සජබයේ ය. එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා ඍජුවම ප්‍රකාශ කළේ සජබය එම 21 වැනිදා රැලියට එක්නොවන බවය. පාඨලී චම්පික සඳහන් කළේත් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද බහුතරයක් එක්ව අලුත් දේශපාලන සැලසුමක් නැතිව කරනු ලබන ජනතා ආමන්ත්‍රණ නිෂ්ඵල බවය. මේ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ අනුමත කළ නොහැකි වුවත් එයට එරෙහිව පෙළගැසිය යුත්තේ පැරණි රාමුව නැවත බලගැන්වීමට නොවන බව ද අවධාරණය කළ පාඨලී විශේෂයෙන් සඳහන් කළේ තරුණ හා අලුත් දේශපාලන චරිත නියෝජනයක් අද රටට අත්‍යවශ්‍ය බවය.

කෙසේ වුව ද සජබය හා එජාපය අතර තිබෙන දුරස්ථභාවය දුරලීමටත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්‍ෂ ක්‍රමය ආරක්‍ෂා කිරීම සඳහාත් ඔවුන් එක්විය යුතුය යන අදහස ද සාකච්ඡාවට ලක් කෙරෙන මේ අවස්ථාවේ සජබය මෙම පොදු විපක්‍ෂ වේදිකාව මගහරින්නේ නම් එය ද ප්‍රශ්නයකි. සජබය හා එජාපයට දෘෂ්ටිමය වශයෙන් තිබෙන ප්‍රතිවිරෝධතා කෙබඳු ද යන්නත් මෙබඳු සිදුවීම් වලින් වටහා ගත හැකිය. මෙම පක්‍ෂ දෙකම අද ජනතාව තුළ තිබෙන දේශපාලන විඥානය පිළිබඳ අවබෝධයකින් ක්‍රියාකරන්නේ ද යන්නත් ප්‍රශ්නයකි. බහු පක්‍ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වැනි සටන්පාඨ අද සමාජ දේශපාලනය තුළ ප්‍රබල උත්තේජනයක් ඇති කරන බවක් ද කිව නොහැක.

ජනාධිපති අනුර කුමාරත් ඔහුගේ ආණ්ඩුවත් ජනතාවට දුන් ප්‍රධානම ප්‍රතිඥාව අභිනව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට කැපවන බවය. සිවිල් ක්‍රියාකාරීන් අදහස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මානව හිමිකම් සුරැකීම ඇතුළු අලුත් දේශපාලන වෙනස ක්‍රියාත්මක කිරීම ගැන ආණ්ඩුව කල්පනා කරන්නේ දැයි අපි නොදනිමු. ආණ්ඩුව දැනට දැඩිව පෙනී සිටින අල්ලස් දූෂණ විරෝධය හා චෞර කළු යටිබිම්ගත පාලනය අහෝසි කිරීම අතිශය වැදගත් තේමාවකි. එයට අදාළ ප්‍රතිසංස්කරණ ද ප්‍රවේශමින් තෝරා ගත යුතුය.

ගාමිණි සුමනසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here