පෙරදිග මහා අධ්‍යාපන තක්සලාව වූ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙන ලබන නොවැම්බර් 01 වැනිදා වසර 150 ක් සම්පූර්ණ කරයි.
ඒ නිමිත්තෙන් පෙරේදා (27 වැනිදා) සිට නොවැම්බර් 02 වැනිදා දක්වා උත්සව සහ පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අවසන් උත්සවය නොවැම්බර් 02 දා සවස 2.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද (29 වැනිදා) සිට හෙට (30) සහ අනිද්දා (31) තෙදින පුරා පිරිවෙන්, පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ ඇතුළු විවිධ අංශ සම්බන්ධ කර ගනිමින් අධ්‍යාපන ප්‍රදර්ශනයක් පැවැත්වෙන බව පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති හා අධ්‍යක්ෂ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී ඤාණරතන නාහිමියෝ ‘දිවයින’ට පැවසූහ.
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1875 නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ කරන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානයක් වේ. මේ වනවිට මෙරට පිරිවෙන් 825ක් පමණ පවතින අතර එම සියලු පිරිවෙන්වල එක් මූලස්ථානයක් වනුයේ මෙම පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනයි.
සිරිමන්ත රත්නසේකර
Saru FM Media











