ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට – රජයටත් ඉහළ අනුමැතියක්

0
3

2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇති බව විශ්ලේෂණය සහ උපදෙස් සපයන ස්වාධීන ආයතනයක් වන Verité Research ආයතනය පවසයි.

එම ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” යන නවතම මත විමසුම් සමීක්ෂණය අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.

වසර හතරක මත විමසුම් ඉතිහාසය තුළ රට ගැන ජනතාවගේ තෘප්තිය 50% මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව එම ආයතනය පවසයි.

ඔවුන් පවසන්නේ මීට වසරකට පෙර පැවති ජනතා අනුමැතිය වන 62% ක් වු ප්‍රතිශතාංක අගයට සාපේක්ෂව මෙම වසරේ එම අගය ස්ථායි මට්ටමක පවතින බවය.

මෙම නවතම මත විමසුම දිවයින පුරා විසිරී සිටින වෙන් වෙන් පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,048 දෙනෙකුගෙන් සමන්විත, සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද බහු-පියවර නියැදියක් ඇසුරින් මෙම වසරේ ජනවාරි 24 වනදා සිට පෙබරවාරි 03 වනදා දක්වා කාලය තුළ පවත්වා තිබේ.

මේ සඳහා දත්ත එකතු කිරීම වැන්ගාඩ් සර්වේ (Vanguard Survey (Pvt) Ltd) ආයතනය විසින් සිදුකර කර ඇත.

මේ අතර, සමීක්ෂණ වාර්තා අනුව ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිසෙහි ප්‍රතිශතය අඩු මට්ටමක පවතී.

මෙම මත විමසුමේ සිව් වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, පවතින ආර්ථික තත්ත්වය “යහපත්” හෝ “විශිෂ්ට” ලෙස ඇගයූ පිරිස, එය “දුර්වල” ලෙස ඇගයූ පිරිස ඉක්මවා ගොස් ඇත. 

ජනතාව, රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව වඩා සුබවාදී මතයක් දැරීම ද මෙවර දක්නට ලැබෙන බව සඳහන් වේ.

එමෙන්ම ආර්ථිකය “යහපත් වෙමින් පවතින බව” පැවසූ පිරිස වසරකට පෙර පැවති 55% ක අගයේ සිට 64% දක්වා ඉහළ ගොස් ඇත.

මෙයින් පෙනී යන්නේ රටේ ආර්ථික ගමන් මඟ පිළිබඳව වැඩි පිරිසක් වඩාත් තීරණාත්මකව සහ සුබවාදීව සිතන බව බවයි එම ආයතනය පෙන්ව දී ඇත්තේ.

මීට අමතරව, ජනතාවගෙන් බහුතරයක් (59%) වර්තමානයේ රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත.

විවිධ අංශ ඔස්සේ පෙර රජයන්ට සාපේක්ෂව වත්මන් රජය ඇගයීමේදී ධනාත්මක ඇගයීම ඉහළින්ම තිබුනේ මත්ද්‍රව්‍ය සහ අපරාධ අවම කිරීම සම්බන්ධයෙන් බව සඳහන් වේ.

එය දූෂණය අඩු කිරීම සම්බන්ධව තිබූ ඇගයීමටත් වඩා ධනාත්මක බව එම වාර්තාව පවසයි. 

මෙම ක්‍රමවේදය තුල ප්‍රතිඵල 95% ක විශ්වාසනීය මට්ටමක තිබෙන බවත් නමුත් උපරිම වශයෙන් ප්‍රතිශතාංක 3%ක් අඩු හෝ 3%ක් වැඩි ආන්තික දෝෂයකට සීමා වනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here