සිය ජීවිතයම ලේඛන කලාව වෙනුවෙන් කැප කළ රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවක වූ සෝමා ජයකොඩි මෙනෙවිය ඊයේ (27දා) පෙරවරුවේ තම දිවිසැරිය නිමා කළාය. මියයන විට ඇය 78 වන වියෙහි පසු වූවාය.
යටියන්තොට ග්‍රාමයේ උපන් සෝමා ජයකොඩි පුවක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් හා පුවක්පිටිය මහා විද්‍යාලයෙන් මෙන්ම නුවරඑළිය කඳපොළ විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබුවාය.
ගුවන්විදුලි නාට්‍ය 85 ක් පමණ ඇය ලියා ඇති අතර ‘දිවයින’ පුවත්පත සඳහා සතිපතා ඇය ලියූ පළමු නවකතාව “මදාරා” නම් විය. “රන්ගිර”, “බලවත්තු හා බවලත්තු” පුවත්පත් සඳහා ලියූ නවකතා පසුකලෙක එනම් 1987 වසරේදී ප්‍රකාශයට පත්වූ අතර “මදාරා” සහ “රන්ගිර” ටෙලි නිර්මාණ සඳහා යොදා ගනු ලැබිණි.
දූලි වලාකුළු, හේමන්ත නිද්‍රාව, කැන්ගරුවෝ, කර්නල්ගේ බිරින්ඳෑවරු 12, අප්පච්චි, ළාදලු බෝපත් මෙන්ම සිදුහත් යසෝදරා ඇතුළු නවකතා රැසක් ලියා ප්‍රකාශයට පත් කොට ඇති සෝමා ජයකොඩි මෙනෙවිය මා ප්‍රිය සොඳුර, ළාදළු බෝපත් හා සිදුහත් යසෝදරා කෘතීන් ඉංග්‍රීසි සහ දමිළ බසින් ද ප්‍රකාශයට පත්කොට ඇත.
කුඩා කල පටන් පොතපත කියැවීමට රුචිකත්වයක් දැක්වූ සෝමා ජයකොඩි අන්‍යයන් කියැවීමට ද හුරු කරවමින් සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය නමින් බණ්ඩාරගම, මැදගම, “රන්ගිර” සිය දෙමහල් නිවස පුස්තකාලයක් සඳහා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය වෙත 2019 වසරේදී ප්‍රදානය කළාය.
ඇය විසින් අවසානයේදී රචනා කරන ලද “ළෙන්ගතු පෙම් කව” කෘතිය ඇය නේවාසිකව ප්‍රතිකාර ලැබූ රාගම පුනරුත්ථාපන රෝහලේදී රෝහලේ අනුමැතිය මත නේවාසික රෝගියකු ලෙසින් හිඳ එළිදැක්වූ ප්‍රථම කෘතිය ලෙස පසුගියදා මෙම රෝහල් ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.
තම නිවස පවා දැයේ පාඨකයන් වෙනුවෙන් පරිත්‍යාග කළ උදාර ලේඛිකාවක වූ සෝමා ජයකොඩි මෙනෙවියට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවායි ‘දිවයින’ මෙසේ ප්‍රාර්ථනා කරමු. අභාවප්‍රාප්ත වූ සෝමා ජයකොඩිගේ අවස්න කටයුතු 29 වැනිදා සන්ධ්‍යා යාමයේදී බණ්ඩාරගම, මැදගම දී සිදු කෙරේ.
සුජාතා ජයරත්න
Saru FM Media











