වැරදි නොකරන සුදනන් කවුරුවත් රටේ නෑ: සභාපතිතුමා ජීවිතය පරදුවට තබා ප්‍රදේශයට යුතුකම් ඉටු කළ සත්ගුණවත් අයෙක්

0
2

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය මිදිගම සෝරත නාහිමි
ලසන්ත ගමේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කැප වුණු නායකයෙක් – පා.ම. චතුර ගලප්පත්ති

ඉකුත් 22 වැනිදා මහජන දිනයේදී ජනතාව හමුවෙමින් සිටියදී පැමිණි වෙඩික්කරුවකුගේප්‍රහාරයට ලක්ව මියගිය වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා 26 දා (ඉරිදා) පස්වරුවේ විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් මිදිගම පවුලේ සුසාන භූමියේදී සිදුවිය.

වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය, කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාමය, සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය සහ ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරය ඇතුළු විහාරයන්හි විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නාහිමියෝ එම අවමඟුල් උළෙලේදී අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

“මේ මිදිගම ප්‍රදේශයේ ලොකු කුඩා හැම කෙනෙක්ම එකම විදියට සහභාගී වන අවමංගල අවස්ථාවක්. ඒ වගේම එතුමා ප්‍රදේශයේ සෑම අවස්ථාවකටම සහභාගීත්වය දක්වන පුද්ගලයෙක්. මේ අවස්ථාවේ පළාතේ සෑම විහාරස්ථානයකම ස්වාමීන්වහන්සේලා වැඩමකර ඇත්තේ එතුමාගෙන් මෙම ප්‍රදේශයට සිදුවූ විශාල සේවාව නිසයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ වැඩ භාර ගත් දින සිටම පරිස්සමට කටයුතු කරන්න කියා මා එතුමාට අනුශාසනා කළා.හමුවූ හැම වෙලාවෙම ඒ කාරණය මතක් කළා. මේ රටේ අද ඇති තත්ත්වය හොද නෑ. සියලුම අර්බුද හමුවේ ඔබතුමා හරි ජනප්‍රියයි. ඒ නිසාම ඔබ නිරන්තරයෙන්ම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි කියා මා සදහන් කළා.නමුත් එතුමා ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ.ඔහු තම ජීවිතය පරදුවට තබා තම සේවාව ඉටු කළ පුද්ගලයෙක්. අද නොයෙක් මාධ්‍යවලින් ඔහු ගැන කතා කරනවා එතුමාට විවිධ චෝදනා ඉදිරිපත් කරනවා.චෝදනා ඕන කෙනෙකුට කියන්න පුළුවන් නමුත් ඒවා තහවුරු කළ යුතුයි. එය අධිකරණය විසින් කළ යුතු කටයුත්තක්. මේ රටේ කවුරුවත් සුදනන් නෑ.වැරදි නොකරන අය නෑ. ඒ නිසාම ඒ කියන සියල්ලම අපි ප්‍රතික්ෂේප කරනවා.එතුමා ඉතාමත්ම සත්ගුණවත් කෙනෙකු හැටියට ඔහුගෙන් විය යුතු යුතුකම් ඉටු කළ වැලිගම ප්‍රාදේශීය සභාව මාස කිහිපයක් ඇතුළත ඉතාමත්ම හොද ස්ථානයක් බවට පත් කළා.නමුත් අපේ අවාසනාවට ඒ සියල්ල අද නතර වුණා.මේ අඩුව පිරිමහන්න කිසිම කෙනෙකුට බෑ.

මම හිතන්නේ නෑ මේ වගේ කෙනෙක් අපේ ගමේ හෝ ප්‍රදේශයේ නැවත බිහිවේවි කියා.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අවමංගල සභාව අමතමින් මෙසේ පැවසීය.

ලසන්ත වික්‍රමසේකර මහතාට මේ සමාජයේ ජනතාව මුහුණ දී තිබූ ප්‍රශ්න පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා.

ඒ අවබෝධය නිසා ජනතාව වෙනුවෙන් යමක් කරන්න ඔහුට අවශ්‍යතාව තිබුණා. ඔහු ඒ වෙනුවෙන් අපමණ ලෙස කැපවුණා. ඒ බව මුලින්ම හඳුනාගත්තේ මගේ පියා. මගේ පියා මුලින්ම ඔහුගේ දක්ෂතාව සහ නායකත්වය දුටුවා.ඒ අනුව තමා මානූෂීය ගුණ පිරි මේ සුන්දර තරුණයාගෙන් 2017 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළේ. ඒ තමා ඔහුගේ දේශපාලනය ආරම්භය.

ඒ වගේම ලංකාවම කොරෝනා රෝගය වෙලාගත් සමයක අපි පුළුවන් හැටියට වැලිගම ජනතාවට එළවළු මල්ලක් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේ ඊටද පෙරමුණ ගත්තේ මේ ලසන්තයි. කොරෝනා කාලේ වැලිගම ජනතාව බඩගින්නේ නොතබන්න කටයුතු කළ එතුමා තම දරුවන්ට බෙහෙවින්ම ආදරය කළා. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීමට ගාල්ල ප්‍රදේශයේ පදිංචියට ගියා. හැබැයි ඔහු තමන්ගේ දරුවන්ට උගන්වනවා වගේම ගමේ අහිංසක දුවා දරුවන්ගේ අධ්‍යාපනය අනාගතය ගොඩ නගන්න සිහින දුටු නායකයෙක්.ඒ වගේම ගමේ අහිංසක මිනිසෙකුගේ මරණයකදී ඔහු එහිදී කළයුතු සියල්ලටම උර දුන් කෙනෙක්. විවිධ තැන්වලින් විවිධ ප්‍රශ්න තිබුණත් ගමේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කැපවුණ නායකයෙක්.

ඒ නිසයි ඔහු සෑම මහජන දිනකම සභාවේ රැදී සිටියේ. එවන් පුද්ගලයකුට තමයි මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදුවූණේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,සුජීව සේනසිංහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඇතුළුව ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
වජිර පූජිත ගුණවර්ධන. තෙලිජ්ජවිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here