බර අඩු කර ගැනීමේ පහසු ක්‍රම අනුගමන කිරීමෙන් අපේ සෞඛ්‍යයට වන හානි.

0
14


බර අඩු කර ගැනීමට අපි විවිධ ක්‍රම යොදා ගන්නවා. ඒ වෙනුවෙන් දැඩිව කැපවෙනවා. ඒත් අපේ දැඩි උනන්දුව සහ උත්සාහයත් සමහර වෙලාවට සෞඛ්‍ය ගැටලු ඇති වන්නට හේතුවක්. බර වැඩි කර ගන්නට අප නොනවත්වාම සිදු කරන සමහර ක්‍රියාකාරකම් වල වැරදි සහ ඉන් අපට වෙන හානි ගැන මේ ලිපියෙන් ඔබට දැනුවත් වෙන්න පුලුවන්.

ඩයට් කරමින් කැලරි පාලනය කිරීම ඉක්මනින් බර අඩු කරගන්නට හොඳ හේතුවක්. ඒත් පෝෂණවේදියෙකුගේ අධීක්ෂණයෙන් තොරව ඔබ නිරාහාරව සිටීම සහ ආහාර පාලන ක්‍රම අත්හදා බැලීමෙන් සිරුරේ පරිවෘත්තිය ක්‍රියා වලට හානි සිදු වීමත් ඔබට දෙවන මට්ටමේ දියවැඩියාව ඇති වීමටත් හේතු වෙනවා. කැලරි 1,200 ට වඩා අඩු නොකිරීම වැදගත්. එසේ නොමැතිනම්, ඔබේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට සහ ඔබේ කුසගින්න නැති කරගැනීමට ඊළඟ ආහාර වේල ලබා ගනිද්දී ඔබ ගන්නා උත්සාහය නිසා පරිවෘත්තිය ක්‍රියා වලට බාධා ඇති වෙනවා. මේ නිසා ඩයට් කරන්න කලින් ඩයටීෂියන් කෙනෙක් අනිවාර්යයෙන් හමු වෙන්න.

ෆේස්බුක් ගෘප් වල විශාල ප්‍රචාර දියත් කරමින් විකුණන පාන වර්ග, රූපවාහිනීයේ විවිධ වෙළඳ දැන්වීම් පළ කරන තේ හා පාන වර්ග වලට තත්ව සහතික සහ වෛද්‍ය නිර්දේශ ඇතිදැයි අනිවාර්යයෙන් විමසා බලන්න.ඔබ බර අඩු කර ගැනීමේ නිෂ්පාදනයක් ගැනීමට ගැන සිතන්නේ නම්, පළමුව ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

ඩෙටොක්ස් පානයන් අධිකව ලබා ගැනීමත් සෑහෙන ගැටලුවක්. එය ඔබට විජලන තත්ව ඇති කරන්නටත් සිරුරේ අසමතුලිතතා ඇති කරන්නටත් හේතු වෙනවා. වෛද්‍ය අධීක්ෂණයෙන් තොරව ඩෙටොක්ස් පානය සහ ඩයට් කිරීම් එකවර කරන්නට යාම ඔබව ගැටලු රැසකට ඇද දමන්නක්. ඒ නිසා ඩෙටොක්ස් පානයන් නිරන්තරයෙන් ලබා ගන්නවාට වඩා ඔබේ ශරීරය පිරිසිදු කිරීමට හෝ විෂබීජහරණය කිරීමට ඔබට අවශ්‍ය නම්, ඕනෑ තරම් ජලය පානය කර අධික තන්තු සහිත ආහාර අනුභව කරන්න.

ඔබ අධික ව්‍යායාම වල නිරත වීම මාංශ පේෂි ඇදීම් සහ ඉරීම් වලට ලක් වන්නට හේතුවක්. ඒ වගේම ඔබව මානසික ආතතියටත් පත් කරනවා. අනිත් කාරණාව ඔබට විජලනය සහ හෘදයාබාධ වැනි දේවල් ඇති වන්නටත් පුලුවන්. ඒ නිසා ව්‍යායාම කරනවා නම් gym instructor කෙනෙකුගෙන් උපදෙස් ගැනිම හරිම වැදගත්.

ඔබ බර අඩු කර ගන්නට එන්නත් සහ බෙහෙත් වර්ග වෛද්‍ය නිර්දේශ වලින් තොරව ලබා ගැනීම තයිරොයිඩ් ගැටලු සහ දියවැඩියාව ඇති කරන්නට හේතුවක්.දරුණු හිසරදය, ආඝාතය, පෙනහළු සහ වකුගඩු ආබාධ වලටත් ඔබව පසුකාලීනව ඇද දමන්න මේවා හේතුවක්. එපමණක් නෙවෙයි.මූල්‍යමය ගැටලුවලට ද ඔබ ඇද දමන්නක්.

බර අඩු කරගැනීම ඔබේ සෞඛ්‍යයට අත්‍යාවශ්‍ය දෙයක්. ව්‍යායාම හා නිවැරැදි ආහාර පාලනය මගින් ක්‍රමවත්ව බර අඩුකර ගැනීමයි ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකර. බර අඩු කර ගන්න කියල පෙති බීම බෙහෙත් වර්ග ගැනීම වැනි පහසු ක්‍රම වලට වඩා යම් වෙහෙසක් දරමින් අඛණ්ඩව උත්සහ කිරීම තුලින් පමණයි ඔබ කැමති සිහින් සිරුර ලගා කර ගන්න පුලුවන් කියන සත්‍ය නිතරම සිහිපත් කරන්න. නිවැරැදි වෘත්තීය වේදීන්ගේ සහය ලබා ගන්න. වර්ථමානයේ දියුණු ලෝකයක ජීවත් වෙන අපි කිසිසේත් ගොඩ වෙදකම් පසුපස යා යුතු නෑ. පෝෂණවේදීන්, ව්‍යායාම උපදේශකවරුන් සිටින්නේ අපට නිවැරදි උපදෙස් ලබා දීමටයි. ඒ නිසා හරි දේ හරිම විදියට කරමු.

ඉතින් ඔබ සිහින මවන සුන්දර සිරුරක් ඉක්මනින් හිමි කර ගන්න ඔබට හැකි වේවා..



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here