ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම අද (27) මුදල් අමාත්‍යාශයේ දී සිදුවිය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී.
ආචාර්ය සූරියප්පෙරුම මහතා සහ ඔස්ට්‍රේලියානු රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් තනතුරෙහි දිවුරුම් දීමට නියමිත Matthew Duckworth, මහතා අතර එම ගිවිසුම් හුවමාරු කරගැනීම සිදුවිණි.
ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එහි ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කාලෝචිත අයුරින් අවසන් කිරීම සඳහා‚ ශ්‍රී ලංකා රජයේ දැඩි කැපවීම මෙම ගිවිසුම් මඟින් පිළිබිඹු වේ.
ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන ලබා දීමට එකඟ වී ඇත.
මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය ආසන්න වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39 ක් වේ.
මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට එළඹීම තුළින් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා යන ගමනට දායකවීම පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගැඹුරු සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි.
ඔස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගීතාවයට සහ සබඳතාවයට ශ්‍රී ලංකා රජය සිය අවංක කෘතඥතාව පළ කරයි.
Saru FM Media











