බීමත් තරුණයෙකු කන්නත්තොට නගරයේ මස් කඩයකින් මන්නා පිහියක් ගෙන ආසන්නයේ තිබූ බයිට් කඩයක හිමිකරුට මරණ තර්ජන කර එහි සිටි සුනඛයෙකුට අමානුෂික ලෙස එකී පිහියෙන් කොටන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමෙන් පසු රුවන්වැල්ල පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 22දා රාත්‍රී කාලයේ සිදුවූ මෙම සිද්ධිය සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමග බයිට් කඩහිමියාද ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
බීමතින් පිහියක් අතැතිව පැමිණි තරුණයා මුදල් නොදී බයිට් ඉල්ලූ විට ඊට අකමැතිවීම නිසා තමාට මරණ තර්ජන කර දේපළවලටද හානි සිදුකර එහි නිදාසිටි බල්ලාට පිහියෙන් කෙටූ බව කඩහිමියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් තරුණයා අයුතු ලෙස වෙළෙඳසැලකට ඇතුල් වී සාපරාධී බියගැන්වීමක් කර දේපළවලටද අනර්ථයක් සිදුකර සුනඛයකුට හිංසා කිරීම යන චෝදනා ගොනුකර ඉකුත් 23 දා පොලිසිය මගින් රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදාහැර තිබේ.
රුවන්වැල්ල වැඩ බලන පොලිස් ස්ථානාධිපති ඩී. ආර්. එල්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ උ.පො.ප. රෝහිත සුදර්ශන පො.සැ. අනුරසිරි හා පො.කො. මධුමාල් යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
රුවන්වැල්ල – විමලරත්න සමරක්කොඩි
Saru FM Media











