මහ වැස්සෙන් දිස්ත්‍රික්ක 18ක 29414ක් විපතේ

0
2

කන්කසන්තුරය මඩකලපුව ධීවර නාවික කටයුතු අවදානම්
නැගෙනහිර මුහුද කලඹන සුළි කුණාටුවක් වී ‘මොන්තා. හෙට චණ්ඩ වෙස්ගෙන ඉන්දියාවට පනී
නොවැම්බර් මැද වනතෙක් සවස් කාලයේ වැසි – කාලගුණේ කියයි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (27 දා) සුළි කුණාටුවක් බවට පත්වී හෙට (28 දා) උදෑසන වන විට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දීය මාධ්‍ය මෙම සුළි කුණාටුව “මොන්තා” ලෙස වාර්තා කර තිබුණි.

මෙහි බලපෑම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ඊයේ (26දා) වාර්තා වුවත් අද සහ හෙට (27 හා 28) තරමක වැසි තත්ත්වයක් වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය. රටේ අන්තර් මෝසම් තත්ත්වය හේතුවෙන් ලබන මස මැද (නොවැම්බර්) වනතෙක් සවස් කාලයේ වර්ෂාව පතිතවීමේ හැකියාව පවතින බවද හෙතෙම කීය. පෙරේදා (25 දා) දිනයේදී සැලකියයුතු වර්ෂාපතනයක් කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නැති බවද හෙතෙම කීය.

පසුගිය දිනවල පැවැති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ඊයේ වනවිට දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130ක පවුල් 739කට අයත් පුද්ගලයන් 29414 ක් පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත ස්ථාන 04ක පවුල් 132කට අයත් පුද්ගලයන් 544ක් රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවුල් 49ක පුද්ගලයන් 202ක් ඥාති නිවාසවල සිටින බවද එම මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 04ක් පුද්ගල තුවාලවීම් දෙකක් සමග පූර්ණ නිවාස හානි 02ක් අර්ධ නිවාස හානි 753ක් ද වාර්තා වී ඇත. බදුල්ල (හල්දුම්මුල්ල)” කොළඹ (පාදුක්ක සීතාවක)” ගාල්ල (නෙළුව” යක්කලමුල්ල)” කළුතර (ඉංගිරිය” වලල්ලාවිට)” මහනුවර” කෑගල්ල” කුරුණෑගල” මාතලේ” මාතර” නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 11ට විමසිලිමත්වීමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. ගාල්ල” මහනුවර” කෑගල්ල” රත්නපුර යන දිස්ත්‍රික්ක 04 සඳහා අවදානම් මට්ටමේ නායයෑම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබුණි. කිසිදු ප්‍රදේශයකට ජනතාව ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර නොතිබිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය” කලාවැව” අංගමුව” කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ සහ මහනුවර” පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කර ජලය මුදාහැර ඇති අතර” ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කර තිබුණි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක පමණ තරමක වැසි ඇති විය හැක. බස්නාහිර” සබරගමුව” මධ්‍යම සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු” උතුරු මැද” වයඹ” බස්නාහිර” දකුණ යන පළාත්වලත්” ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40 – 50 පමණ තද සුළං ඇතිවිය හැකිය.

අධික වර්ෂාවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ජලාශ ජලයෙන් පිරී පවතින අතර එම ජලාශවල දියනෑමේදී සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. යම් ආපදා තත්ත්වයක් පවතී නම් 117 යන හදිසි ඇමතුම් අංකයට පැය 24 පුරා දැනුම්දිය හැකි බවද ඒ මහතා තවදුරටත් පවසයි.

චමින්ද සිල්වා, ධර්මසේන වැලිපිටිය – ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here