අමරකීර්ති අතුකෝරල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවූ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරියට එරෙහිව රාජපක්ෂ වියරුව මුදා හරින ලද ආකාරය සාක්ෂි සහිතව හෙළිවේ.
එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විදානගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කර ඇත්තේ එම මහේස්ත්‍රාත්වරියව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවිය යුතු බව ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමට ඉතාම ආසන්න දිනයක දී මෙම ප්‍රකාශය කර තිබීම විශේෂත්වයකි. 2022 ජූලි 04 වෙනි දින මව්බිම වෙබ් අඩවියේ පළ කර තිබූ මධුර විතානගේ විසින් කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.
පොළොන්නරුව ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටි අමරකීර්ති අතුකෝරල මහතාත්, එතුමාගේ ආරක්‍ෂක නිලධාරි ගුණවර්ධන මහතාගේත් අභාවය පිළිබඳ මගේ සහ කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ ශෝකය ප්‍රකාශ කරනවා.
ඒ වගේම 09 වැනිදා සිද්ධි දාමය තුළදී අවධානයට යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. මේ නඩු විභාගය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාවක් හරහා ඒ වැඩකටයුතු කරන්න කියලා අගවිනිසුරුතුමාගෙන් සහ නීතිපතිතුමාගෙන් ඉල්ලන්න කියලා කථානායකතුමාට අපි ඉල්ලීමක් කරනවා. එය වහාම කළ යුතු දෙයක්.
ඔහු විනාඩි 30ක විතර කාලයක් ජීවිතය බේර ගන්න ආරක්‍ෂක අංශවලට කතා කරලා දැනුවත් කිරීම් කළා. නමුත් අපේ ආණ්ඩුවට ඒක කර ගන්න බැරි වුණා. ඒක ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. මන්ත්‍රිතුමාගේ ජීවිතය බේරාගන්න බැරි තැනට පත්වීම මම හිතන්නේ ලොකු කනගාටුවක් වගේම මේ කාරණා පිළිබඳවත් අපි ඉදිරි පරීක්‍ෂණවලදී අවධානය යොමු කළ යුතුයි. මොකද මන්ත්‍රිතුමා ඒ ගොඩනැඟිල්ලේ ඉන්න වෙලාවේ ඒ ගොඩනැඟිල්ලේ හිමිකරු පවා ලොකු සහයෝගයක් දීලා තියෙනවා, ඒ අරගලකරුවන්ට ඒ ගොඩනැඟිල්ලට ඇතුළු වෙන්න නොදී මන්ත්‍රිතුමාගේ ජීවිතය බේරා ගන්න.
පසුගියදා මම ඔහුගේ නඩු කටයුත්ත අවස්ථාවේදී අත්තනගල්ල අධිකරණයට ගියා. ඒ වෙලාවේ මම දැක්කා මේ වනවිට නීතියේ ආධිපත්‍ය බරපතළ විදිහට කඩා වැටුණු තත්ත්වයක්. ඒක කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා.
මම මේ කතා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රිවරු 225 ගැන විතරක් නොවෙයි. පොදු මහජනතාව වෙනුවෙන්. මේ සිද්ධියේ මූලාරම්භය ගත්තොත් පසුගියදා ජනාධිපතිතුමාගේ නිවෙසට පහර දෙන්න පැමිණි ඒ කැරලිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ අධිකරණයෙන් ඇප ලබා ගෙන එළියට එනකොට මල්මාලා දාලා, අත්පුඩි ගහලා සිප වැලඳගත්ත නීතිඥ කොටසක් මේකට වගකියන්න ඕනෑ.
මොකද නීතිඥ සංගමය නෙවෙයි යම් නීතිඥ කණ්ඩායමක් මේ කැරලිකරුවන්ට පූර්ණ උත්තේජනයක් දුන්නා. ඒ උත්තේජනයෙන් පිපිදුණ, උද්දාමයට පත්වුණ කැරලිකරුවන් නීතිය අතට අරගෙන මහා දරුණු විනාශයක් මේ වනවිට මේ රටට කරලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා විගණනයක් කළොත් අද සංචාරක ක්‍ෂේත්‍රය නැවතිලා, රටේ සාමාන්‍ය වැඩකටයුතු නැවතිලා මහා විනාශයක් මේ රටට අත් කරන්න මේ නීතිය ක්‍රියාත්මක කරන යම් යම් කණ්ඩායම්, නිලධාරීන් අඩු වැඩි වශයෙන් දායක වුණා කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.
අපි දැක්කා පසුගියදා පකිස්තානයේ මූලධර්මවාදීන් විසින් ඝාතනය කළ ප්‍රියන්ත ගැන මහ කනගාටුවක් මේ රටේ ජනතාව අතර ඇති වුණා. හැබැයි අතුකෝරල මහතා මියගියාට පස්සේ ඒ මරණය ගැන මේ රටේ බහුතරයක් පිරිස් මුනිවත රැකීමත් එක්ක අපිට දැන් මේ රටේ ඇති වෙලා තියෙන විකෘතිය ගැන මහා පුදුම කනගාටුවක් ඇති වෙනවා. මොකද බුදුන් තෙවරක් වැඩිය රටේ ධර්මානුකූලව මහා පිරිසක් ජීවත් වුණ රටේ, මේ වගේ ම්ලේච්ඡ ඝාතන වෙනකොට ඒවා හොඳයි කියන, ඒවා ගැන හිතලා ජයපැන් බොන පිරිසක් අද අපි දකිනවා. විශාල වරදක් මේ සමාජයේ දිනෙන් දින මතුවෙමින් පවතිනවා.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් විදිහට රටට නීති ප්‍රතිපත්ති හදන අය විදිහට මෙන්න මේ කරුණු ගැන අපි දැඩි සැලකිල්ලක් දක්වන්න ඕන. ඒ ගැන අපි ඉදිරි කාරක සභාවලදී කතා කරන්න ඕන. මේ ගැන මීට වඩා සක්‍රියව මැදිහත් වෙන්න ඕන. එහෙම නොවුණොත් තව අතුකෝරල මන්ත්‍රිතුමා වගේ අපේ තව මන්ත්‍රිවරුන්ට, පොදු ජනතාවට අහිංසක මිනිස්සුන්ට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන්නේ නැහැ.
මැයි 22 වැනිදා අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී දරුණුම තත්ත්වය දැක්කා. මම මන්ත්‍රිවරයකු ලෙසත්, වෘත්තීය නීතිඥවරයෙක් විදිහටත්, ඒ වෙලාවේ අධිකරණයට ගිය අවස්ථාවේ සාමාන්‍ය මනුෂ්‍ය ඝාතන ගැන උගත් මහෙස්ත්‍රාත්වරයෙක් පොලිස් විමර්ශනවලට සහාය දීම අත්‍යවශ්‍ය කාරණාවක්. අවාසනාවන්ත තත්ත්වයක් මම දැක්කා. අත්තනගල්ල අධිකරණයේ මහෙස්ත්‍රාත්තුමිය විවෘත අධිකරණයේදී විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ව දැඩි අපහසුතාවට පත් කරන ආකාරයට හැසිරුණේ.
ඒ වගේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව දැඩි අපහසුතාවට පත් කරන ආකාරයට හැසිරුණා. පරීක්‍ෂණවලට සහාය දෙනවා වෙනුවට එතුමිය නොගැළපෙන ප්‍රකාශ කරමින් වැදගත් කාරණා විමර්ශන නිලධාරීන්ගෙන් ගැනීම වෙනුවට ඒවාට අකුල් හෙළන බවක් තමයි මම විතරක් නොවෙයි විවෘත අධිකරණයේ නීතිඥවරුන් අධිකරණයට පැමිණි බොහෝ පිරිස් ඒ ගැන විමතියෙන් බලාගෙන හිටියේ. මොකද මුළු ලෝකයම කැලඹීමට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ගේ ඝාතනය ඇතුළු පුද්ගල ඝාතන තුනක් සම්බන්ධ ඒ අධිකරණ කටයුත්තේදී උගත් මහෙස්ත්‍රාත්තුමියගේ හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි.
සාහසික මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ ප්‍රදේශයේ අධිකරණයට ආ සාක්කිකරුවන් කිව්වා විවෘත අධිකරණයේ ඒ අයට සාක්කි දෙන්න බැහැ කිව්වා. හඬා වැළපුණා. සාක්කිකරුවෝ දෙදෙනෙක් කිව්වා ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් තියෙනවා. ඔවුන් අධිකරණ භූමිය තුළට යන්න බැහැ කියලා ඇඬුවා. ඒ සාක්කිකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඒ ගැන කරුණු මහෙස්ත්‍රාත්තුමියට ඉදිරිපත් කළාම ඉතාමත්ම අවඥාසහගතව අධිකරණයට නොගැළපෙන ප්‍රකාශ කරමින් ඒවා බැහැර කළා.
ඒ මරණ පරීක්‍ෂණයේදී සාක්කිකරුවන්ට තියෙන ජීවිත අවදානම ගැන නොතකා විවෘත අධිකරණයේ නඩුව කැඳවා එපමණක් නෙවෙයි සාක්කිකරුවන්ගේ සත්‍ය අනාවරණය කරමින් ඒ අයට යම් යම් බලපෑම් කරමින් සාක්කි විකෘති කිරීමට උත්සාහ කළා. මම වගකීමෙන් කියනවා මම ඇසින් දුටු සාක්‍ෂිකාරයෙක් විදිහට අධිකරණයේ හිටියා.
මම අවුරුදු 23ක් නීතිඥ වෘත්තියේ යෙදී සිටි කෙනෙක් විදිහට මගේ ජීවිතයේ පළවැනි වතාවට තමයි මේ වගේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ අධිකරණ කටයුත්තකදී අධිකරණ නිලධාරියෙක් හැසිරුණේ. අධිකරණයට මගේ ඉහළ ගරුත්වයක් තියෙනවා. අධිකරණ විනිසුරුවරුන්ට මගේ ඉහළ ගරුත්වයක් තියෙනවා.
මම කවදාවත් අධිකරණයට හෝ විනිශ්චයකාරතුමන්ලාට කිසිසේත්ම අගතියට හෝ අපහසුතාවකට පත්වෙන කියන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම මේ දේවල් ප්‍රකාශ කරන්නේ මගේ ඇසින් දුටු සාක්‍ෂි විදිහටත් රටේ නීති හදන තැන නියෝජනය කරපු මන්ත්‍රිවරයකුගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණ නිලධාරීන්ගේ හැසිරීම ගැන තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. මොකද ඉදිරියේදීවත් මේ නඩු විභාගය මීට වඩා සාධාරණව සාක්‍ෂි විමර්ශනය කරන්න පුළුවන් පරිසරයක් හදාගන්න තමයි මේ කරුණු මේ සභාවට ඉදිරිපත් කරන්නේ.
ඒ වගේම නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපතිවරයා මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂිවලට කැඳෙව්වා. ඔහු සාක්‍ෂි කූඩුවට නැග්ගට පස්සේ ඒ අවස්ථාවේ තිබුණ සිද්ධිය ප්‍රකාශ කරන්න හදනකොට විනිශ්චයකාරතුමිය පොලිස් නිලධාරියා දෙසට හැරී “තමුන් මෙතැන කුණු හෝදන්න එහෙම ලෑස්ති වෙන්න එපා” කියලා කිව්වා. ඒක බොහොම තර්ජනාත්මකව කිව්වේ විවෘත අධිකරණයේදී. ඉතාමත් අපහාසාත්මකව මහෙස්ත්‍රාත් ධුරයකට නොගැළපෙන ආකාරයකට එතමිය ප්‍රකාශ කළේ. අන්තිමේදී පොලිස් පරීක්‍ෂකවරයාට තමන් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වුණ කරුණු කියාගන්න බැරි වුණා.
පස්සේ මම එතැනට පැමිණි පොලිස් පරීක්‍ෂකවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් විමසීමක් කළා. මොකද මට පළමුවැනි අවස්ථා දෙකතුනේ යන්න හම්බවුණේ නැහැ. මුල් අවස්ථාවේ සිටම එතුමිය හැසිරිලා තියෙන්නේ මේ විදිහට තමයි කියලා ඒ සියලු දෙනා කිව්වේ. ඒ වගේම පොලිස් නිලධාරීන් තමන්ගේ සටහන් පොත්වල ඒවා සටහන් කරලා තියෙනවා. පොලිස්පතිතුමාට ඒ ගැන දැනුම්දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි අධිකරණ කොමිෂන් සභාවට සහ අග්‍රවිනිශ්චයකාරතුමාටත්, කථානායකතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියනවා.
මොකද අපේ මේ සභාව නියෝජනය කරන මන්ත්‍රිවරයකුගේ ඝාතනය ගැන සලකළා නොවෙයි පොදු මහත් ජනතාවටම මේ වගේ මොකද අද මන්ත්‍රිවරයාට වුණ අසාධාරණය ගැන අඩුම ගානේ අපිට මෙතැන හරි කියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිසකුට දෙයක් වුණොත් ඒක කියන්න තැනක් නැහැ. ඒ මිනිස්සු අසරණයි. ඒ නිසා තමයි මේ වැරැද්දක් තියෙනවා නම් කොතැන හරි යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ ඒක නිවැරදි කිරීමේ අපේ යුතුකමක් සහ වගකීමක්.
ඒ වගේම සාක්‍ෂිකරුවන්ට පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන්ට ඇති ජීවිත තර්ජන ගැන එදින අධිකරණයට දැනුම් දුන්නම සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනතේ 31 වැනි වගන්තිය අනුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි විද්‍යුත් ක්‍රමයට අහන්න කියලා ඉල්ලීමක් කරා. හැබැයි එතුමිය එය ප්‍රතික්‍ෂේප කළා. මොකද මට මෙහෙම කියන්න හේතුව මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ පළමු වැනි වතාවට තමයි රාත්‍රි 09 වන තෙක් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් එදා තිබුණේ.
මැයි 22 වැනිදා රාත්‍රි 09 වනතෙක් පොළොන්නරුවේ ඉඳලා ආපු අතුකෝරල මහත්මියත්, එතුමියගේ පුත්‍රයා ඒ වගේම ඥාතීන් උදෑසන 9 සිට රාත්‍රි 9 වෙනකන් ඉතා අනාරක්‍ෂිතව අධිකරණ භූමියේ රැඳී සිටින්න සිද්ධ වුණා. මොකද ඒ ඝාතකයන්ගේ, ඒ කැරලිකරුවන්ගේ, ඒ කුමන්ත්‍රණකරුවන්ගේ උද්ඝෝෂකයන්ගේ ගමේ තමයි මේ අධිකරණය තියෙන්නේ.
එතකොට ඉතාමත් අනාරක්‍ෂිත තත්ත්වයක් තියෙනවා.නමුත් ඒවා ගැනවත් සලකන්නේ නැතුව පොඩි පොඩි නඩුත් ඔක්කොම ඉවර වුණාට පස්සේ කරුවල වැටුණ වෙලාවට තමයි මේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුව තිබුණේ. ඒකෙන් අපිට පේනවා ඔවුන්ගේ ජීවිත අනතුරට ලක් කිරීමේ උත්සාහයක් ගත්තාද කියලා. මොකද සාක්‍ෂිකරුවන් එක පැත්තකින් හඬා වැටෙනවා විවෘත අධිකරණයේ සාක්‍ෂි දෙන්න බැහැ කියලා. පොළොන්නරුවේ ඉඳන් ආපු මිනිස්සු අනාරක්‍ෂිතව ඉන්නවා.
එදින ගත්ත නඩු අතුරින් රාජ්‍ය දේපළවලට හානි කළ පුද්ගලයන්ට ඇප දුන්නා. ඇප දුන්නට පස්සේ ඒ මිනිස්සු එළියේ සන්තෝස වෙලා අතට අත දීලා බොහොම සතුටින් අධිකරණ භූමියේ හැසිරෙන්න ඕනේ නැති විදිහට හැසිරෙමින් අධිකරණය ඒ අයගේ වැරදිවලට උත්තේජනයක් දෙන බවක් පෙන්වා එයින් තවත් සාක්‍ෂිකරුවෝ බයට පත්වුණා.
ඒ වගේම අතුකෝරළ මහත්මියගේ, ඒ පුත්‍රයාගේ ජීවිත ගැන අපිට ලොකු බයක් ඇති වුණා. මොකද මේ විදිහට අධිකරණ භූමියක හැසිරෙනවා මම දැකලා නැහැ.
පළමු නඩු දිනේ ඉඳන්ම හැසිරීම පිළිබඳව ඒ වුණ කාරණා පිළිබඳව පොලිස් නිලධාරීන් තමන්ගේ සටහන්වල දැමීම කියන එක ගැනත් අපි ඉදිරියේදී සැලකිල්ලට ගන්න ඕන කාරණාවක්. ඒ වගේම නීතිඥයන් අවස්ථා කිහිපයකදීම කිව්වා මේ අය දුර බැහැර ඉඳන් එන්නේ ඒ නිසා නඩු කටයුතු ඉවර වෙනකන් තියන්නේ නැතුව මේ නඩුව ඉක්මනට ගන්න කියන එක ගැන කතා කළා. නමුත් මේ රටම කැලඹීමට ලක් කළ මන්ත්‍රිතුමාගේ ඝාතන සිද්ධියේදී අපේ අධිකරණය විශේෂයෙන්ම අත්තනගල්ල අධිකරණයේ ඒ මහෙස්ත්‍රාත්තුමියගේ හැසිරීම පිළිබඳ මගේ බලවත් කනගාටුවක් තියෙනවා.
අපි මෙච්චර දැනුම්දීලා තියෙද්දීත් මේ වගේ අනාරක්‍ෂිතව තියෙද්දීත් තවදුරටත් මේ නඩුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී පවත්වාගෙන යනවා නම් මම විශ්වාස කරනවා එය මේ නඩුවට විශාල අගතියක් වෙනවා. ඒ වගේම මහෙස්ත්‍රාත්තුමියගේ ක්‍රියා කලාපය පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණයක් කළ යුතුයි. අපි ඇයගේ ක්‍රියා කලාපය පිළිබඳ අග්‍රවිනිශ්චකාරතුමාට දැනුම්දීලා ඒ වගේම ඉදිරි කාලයකදී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවටත් මේ මහෙස්ත්‍රාත්තුමියව කැඳවලා මේ ගැන විමසීමක් කළ යුතුයි.
මොකද ව්‍යවස්ථාදායකයේ අපේ පරම යුතුකම ඒක. මම මේ කතා කරන්නේ මිය ගිය අතුකෝරල මන්ත්‍රිතුමා ගැන විතරක් නෙවෙයි. මේ රටේ පොදු මහජනතාව ගැන. ඒ වගේම මම මේ වෙලාවේ සමස්තයක් විදිහට මේ 09 වැනිදා වුණ සිද්ධිදාමය පිළිබඳ මහෙස්ත්‍රාත්තුමන්ලා අධිකරණයේ ඉතාමත් හොඳින් විනිවිදභාවයකින් නීතියේ තියෙන ඒ සියලු කාරණා සලකලා බලලා ඉතාමත් සාධාරණව ඉෂ්ට කරනවා. ඒ ගැන අපේ ගෞරවය පුද කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ පාර්ලිමේන්තුවේදී එසේ ප්‍රකාශ කළේය.
3
Saru News










