ආපදාවට පත් වූ වෙළෙඳ නෞකාවක කාර්යමණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගනී

0
2

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය, නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් නිරුපද්‍රිතව මුදාගැනීමට හැකිව තිබේ.

එම පිරිස අද ( 26) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව නවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව, මෙම MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ ආපදාවට පත්ව ඇති බවට, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලද දැනුම් දීමක් මත, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව එම මුහුදු ප්‍රදේශයේ සෙවීම් හා මුදා ගැනීමේ මෙභෙයුමක් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අනුයුක්ත කෙරිණි.

එහිදී, ආපදාවට පත් MV INTEGRITY STAR වෙළෙඳ නෞකාවේ සිටි ඉන්දීයානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සමුදුර නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ.

එමෙන්ම, කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් වෙළෙඳ නෞකාවේ සහාය වෙනුවෙන්, MV MORNING GLORY වෙළෙඳ නෞකාව එම මුහුදු ප්‍රදේශයේ සූදානම්ව රැඳී සිටියි.

තවද, මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවික ප්‍රජාවගේ ජීවිත බේරාගැනීම සඳහා සම්මත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත, දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීමට අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කළාපයේ මෙන්ම, ජාත්‍යන්තර මුහුදේ යාබද සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කළාපයන්හිදීද ආපදාවට පත්වන, නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here