සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට යෝජිත සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතියෙහි (RASED) ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
නව රජයේ, රාජ්‍ය ආයතන නවීකරණ වැඩපිළිවෙළ යටතේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉහළ සහයෝගයක් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ සඳහා සිය පූර්ණ සහාය ලබා දෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සියලුම නිලධාරීන්ගේ එකඟතාව පළ කළහ.
එසේම සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය 2025 වසරේ අත්පත් කරගත් මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ ඇගයීමට ලක්වූ අතර, මේ වසරේ තවදුරටත් ඉහළ මූල්‍ය ප්‍රගතියක් අත්පත් කරදීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට සුරාබදු නිලධාරීහු සහතික වූහ.
වර්තමාන සමාජ සහ තාක්ෂණික ප්‍රවණතාවලට ගැළපෙන පරිදි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉදිරි සති දෙක ඇතුළත එම සංශෝධන අවසන් කර නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කමිටුව අවධාරණය කළ අතර, මීට අමතරව නිලධාරීන්ගේ උසස් වීම් සහ මත්ද්‍රව්‍ය නාශක අංශය සවිබල ගැන්වීම පිළිබඳවද අවධානය යොමු විය.
මේ අතර, රට තුළ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධ අපරාධ මැඬලීම සඳහා මහජනතාවගේ සක්‍රීය සහාය ලබා ගැනීමට ඕනෑම ප්‍රදේශයක සිදුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ තොරතුරු 1913 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ආදායම වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා මෙහෙයුම් කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා සහ මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Saru News










