2025 ඔක්තෝබර් මස 26 වැනිදා ඉරිදා
නිතර නිතර අපරාධ කරන අපරාධකාරයන් සම්බන්ධයෙන් ආණ්ඩුවකට අනුගමනය කළ හැකි ප්‍රතිපත්ති දෙකක් තිබේ. ඉන් පළමුවන ප්‍රතිපත්තිය වන්නේ ඒ අපරාධකාරයා අත්අඩංගුවට ගෙන හෝ ඔහු ආරක්‍ෂිතව තබාගෙන නඩු අසා සුදුසු දඬුවම් නියම කිරීම ය.
ලංකාවේ දී නම් අපරාධකාරයකු අත්විඳින උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ය. මේ රටේ එල්ලුම්ගස ක්‍රියාත්මක කරනු නොලැබේ. අධිකරණය මගින් දෙන මරණ දඬුවම නිරන්තරයෙන්ම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් බවට පරිවර්තනය වේ. මේ කරණකොට ගෙන අලුගෝසුවා වැඩක් නොකර පඩි ලබා සුදුසු වයස එළඹුණු විට විශ්‍රාම ගනී. ඒ අතර පාවිච්චි නොකිරීම නිසා එල්ලුම්ගසේ කඹය දිරායයි. එබැවින් සෑම අවුරුදු දහයකටම වරක් වාගේ එල්ලුම්ගස සඳහා අලුත් කඹයක් පිටරටින් ඕඩර් කරනු අපි අසා ඇත්තෙමු. මේ කඹය බොහෝ විට ගෙන එන්නේ පාකිස්තානයෙනි. මේ කඹය බොහෝ ශක්තිමත් ය. ගෙනා අලුත එල්ලුම්ගහ කඩා වැටුණත් කඹය නොකැඩේ. අප දන්නා පරිදි මේ කඹයක මිල රුපියල් දහසයදහසකි. අපරාධකරුවන් නොඑල්ලනවා කියා සිරගෙදර අලුගෝසුවකුගෙන් තොරව පවත්වාගෙන යෑමට නොහැක. අලුගෝසුවා විශ්‍රාම ගිය සැණින් එම ඇබෑර්තුව ගැසට් කර අලුත් කෙනකු බඳවාගනු ලැබේ.
ආණ්ඩුවකට අපරාධකරුවකු සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි අනෙක් විකල්පය මෙසේ ය. ඒ විකල්පයට අනුව අපරාධකරුට ඔහුගේ ප්‍රතිවිරුද්ධ අපරාධකරුවන් අතින් ඝාතනය වීමේ අවස්ථාව උදාකර දීමට ආණ්ඩුවට පුළුවන. එය කරන්නේ අපරාධකරු අත්හැර දැමීමෙනි. ලංකාවේ ඇපපිට සිටි ඝාතකයන්ගෙන් වැඩිදෙනා මියගියේ මේ ආකාරයෙනි. සොත්ති උපාලි මරා දමන්නේ නඩුවකට පෙනී සිට ප්‍රයිවට් බස් එකක නැගී ගෙදර යන විට ය. බැද්දගානේ සංජීව මරා දමන්නේ නඩු ගණනාවක චූදිතයාව සිටියදී ඇප ලැබීමෙන් පසු නිදැල්ලේ සැරිසරන අවස්ථාවක දී වෙඩි තැබීමෙනි. මේ අතර ආණ්ඩුවට තවත් දෙයක් කිරීමට පුළුවන. එනම් දිගින් දිගටම වාතවන අපරාධකරුවකු අත්අඩංගුවට ගත් පසු ආයුධ පෙන්වීම සඳහා ඔහු ගෙනගොස් වෙඩි තබා මැරීම ය. මෙය පසුගිය කාලයේ දී දිගින් දිගටම සිදු වූ නමුත් වෙලේ සුදාගේ මව විසින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකට අනුව ක්‍රියාත්මක වීම අත්හිටුවිණ. මේ අධිකරණ තීන්දුවට අනුව කිසියම් අපරාධකරුවකු ආයුධ පෙන්වීමට හෝ වෙනත් කාරණයක් වෙනුවෙන් සිරගෙදරින් එළියට ගෙන යන්නේ නම් ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු ය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසාගේ ඝාතනය සම්බන්ධයෙන් අද අප කතා කරන්නේ ඉහත සඳහන් සන්දර්භය පාදකකොට තබාගෙන ය. මිදිගම ලසා අයි.ආර්.සී. (Islandwide Registered Criminal) කාරයෙකි. ලංකාවේ සිටින එකම අයි.ආර්.සී.කාරයා ඔහු නොවේ. එවැනි අය දසදහසකට වඩා මේ රටේ සිටිති. ලසන්ත වික්‍රමසේකර ප්‍රාදේශීය සභාවට පත්වන්නේ වැලිගම ජනතාවගේ ඡන්දයෙනි. මේ ප්‍රාදේශීය සභාව මාලිමා ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහුණු සහ සමගි ජන බලවේගයේ පාලනයට නතුවුණු ප්‍රාදේශීය සභාවකි. මිය යෑමට මාස දෙකකට පෙර විවිධ පාර්ශ්ව වෙතින් තමන්ට මරණ තර්ජන ඇති බැවින් ආරක්‍ෂාව ලබාදෙන්නැයි ඉල්ලා ලසන්ත වික්‍රමසේකර පොලිස්පතිට ලියුමක් ලිව්වේ ය. එමතු ද නොව එම ලියමන දිවුරුම් ප්‍රකාශයක් මගින් Back කළේ ය. එහෙත් ඔහුට ආරක්‍ෂාව නොලැබිණ. පොලිස් ඇමැති ආනන්ද විජේපාල කියන්නේ අයි.ආර්.සී.කාරයන්ට පොලිස් ආරක්‍ෂාව නොදෙන බව ය. මේ ක්‍රමය වහාම වෙනස් කර දැනට නඩුවලට ඈඳී ඇප ලබා එළියේ සිටින අයි.ආර්.සී.කාරයන්ට ආරක්‍ෂාවක් දිය යුතුම ය. ලසන්ත වික්‍රමසේකර සිටියේ නඩු තුනක් සම්බන්ධයෙන් අත්හිටුවූ සිරදඬුවම් ලබා ය. මීට අමතරව ඔහුට තවත් නඩු හයක් තිබිණ. ඔහු ඝාතනය වීමෙන් පසු ඔහුගේ ඉදිරි නඩු විභාග කිරීමේ දී විශාල අගතියක් සිදුවේ. සමහර විට ඔහුගේ සාක්‍ෂි නැති නිසා තවත් මිනීමරුවන් රාශියක් නිදහස් වී ආපසු සමාජයට ගොස් නැවතත් මිනීමැරීමට පටන් ගන්නවා ඇත. මේ රටේ ජනතාව අඩුකිරීමේ අපේක්‍ෂාවක් රජයට තිබේ නම් මේ ක්‍රමය අනුගමනය කළාට කමක් නැත. වතාවක් පිලිපීනයේ සිටි ජනාධිපතිවරයෙක් මෙවැනි වැඩපිළිවෙළක් අනුගමනය කර ඒ රටේ කුඩුකාරයන් හයදහසක් පමණ ඝාතනය වීමට සැලැස්සුවේ ය. එවැනි අරමුණක් ආණ්ඩුවට නැත්නම් අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසියම් ආවේක්‍ෂණයක් පවත්වාගෙන යෑම කළ යුතු ය. අඩුම ගණනේ මේ රටේ ප්‍රාදේශීය සභාවලටත්, වෙනත් රජයේ ආයතනවලටත් පොලිස් හා හමුදා ආරක්‍ෂාව සැපැයීම වැදගත් ය. අද වනවිට රජයේ කාර්යාල ගණනාවක්ම යුද හමුදාවේ සහ පොලිසියේ ආරක්‍ෂාව යටතේ පවතී. අපට අවශ්‍ය පරිදි ඒවාට ද ඇතුළුවීමට තැත් කළොත් පොලිසිය අප බෙල්ලෙන් අල්ලා එළියට දමනවා ඇත.
ආණ්ඩුව ලසන්ත වික්‍රමසේකර ඝාතනය වනතුරු නිකන් බලාසිටියේ ය යන නරක ලේබල් එක වැදීමට පෙර අප කියන මේ කාරණය සම්බන්ධයෙන් තරහ ගැනීමකින් හෝ පසුව පළිගැනීමේ සිතුවිල්ලකින් හෝ තොරව කල්පනා කර බැලීම ආණ්ඩුවට හොඳ ය.
Saru FM Media











