කැනඩාවට දාපු ට්‍රම්ප්ගේ තීරුබදුවලට ඇතුළෙන්ම විරෝධය ! – Saru News | සිංහල

0
13

ට්‍රම්ප් විසින් කැනඩාවට එරෙහිව පැනවු තීරුබදු අවසන් කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය බහුතරයක් ඡන්දය දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටි. කෙසේවෙතත් පනත ඉන් පසුව සෙනෙට් සභාව විසින්ද අනුමත කළ යුතුව ඇත. විදේශ මාධ්‍ය තව දුරටත් වාර්තා කරනුයේ ට්‍රම්ප්ගේ ආර්ථික ආරක්ෂණවාදය හා ලිබරල් වාදීන් අතර ගැටුම මේ වන විට උග්‍ර වී ඇති අතර විදේශ වලින් ආනයනය කරනු ලබන භාණ්ඩ වල මිලද ඉහල ගොස් ඇති වී රටේ උද්ධමනය ඉහල නැගීම නිසා තම රිපබ්ලිකන් කඳවුර තුලින්ම විරෝධය මතු වෙම්න් තිබේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් ඔහුගේ තීරුබදු පැනවීම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල් ගල බවට පත් කර ඇති අතර කැනඩාව හා ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ නිසා අර්බුධ නිර්මාණය කරගෙන ඇත. මෙම තත්වය තුල ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් ජනාධිපතිවරයාගේ තර්ජන නොතකා, පෙබරවාරි 12 වනදා  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහසට එරෙහිව යමින් ඔහුගේම පාක්ෂිකයින් ඩිමොක්‍රටික් මන්ත්‍රී වරුන් සමග කැනඩාවට එරෙහිව පනවා ඇති තීරුබදු අවලංගු කිරීමට ඡන්දය දෙනු ලැබිණි.

පනත් කෙටුම්පත දැන් සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතුව ඇත. නමුත් එය සම්මත වුවද, නිසැකවම එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් එයට එරෙහිව නිෂේධ බලය භාවිතා කරනු ඇත, කෙසේ වෙතත් යෝජනාවට ප්‍රධාන වශයෙන් සංකේතාත්මක වැදගත්කමක් ඇති බව දේශපාලන විචාරකයින් ගේ මතයයි. එහෙත් කොංග්‍රසයේ නව ඡන්දයක් සහ තුනෙන් දෙකක බහුතරයක් සහිත සම්මත වීමකින් පමණක් මෙම නිෂේධ බලය අභිබවා යාමේ හැකියාවක් ඇත. එහෙත් එය දැනට උත්තර හා පහල සභා දෙකෙහිම පවතින ට්‍රම්ප්ගේ කඳවුරට අයත් රිපබ්ලිකන් බහුතරයක් නියෝජනය කරන නිසා කළ නොහැකි දෙයකි. එබැවින් යෝජනාව ප්‍රධාන වශයෙන් සංකේතාත්මක වේ යයි ඔවුන් තවදුරටත් පෙන්වා දේ.

නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ මෙම ඡන්දය පවතින අතරතුර, ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ ඔහුගේ තීරුබදු වලට එරෙහිව ඡන්දය දුන් ඔහුගේම පක්ෂයේ සාමාජිකයින්ට “ප්‍රාථමික මැතිවරණ ඇතුළුව මැතිවරණ සමයේදී දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති” බවයි.

“තීරුබදු පැනවීම අපට ආර්ථික හා ජාතික ආරක්ෂාව ලබා දී ඇති අතර, එම වරප්‍රසාදය විනාශ කිරීම සඳහා කිසිදු රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙක් උත්සහ කිරීම වගකිව යුතු ආකාරයකින් ක්‍රියා කිරීමක් නොවේ,” යයි ඔහු සිය සත්‍ය සමාජ වේදිකාවේ’TRUTH SOCIAL හි පණිවිඩයක වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වෙතත් ඇමරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ නිදහස් වෙළඳාම සම්බන්ධ උපදේශකයින්, ට්‍රම්ප්ගේ කඳවුර තුලම තේරී පත් වූ බොහෝ මන්ත්‍රී වරුන්  හා රාජ්‍ය නිලධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අඩු වැඩි වශයෙන් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරනු ලබන බවයි. විශේෂයෙන් තීරුබදු පැනවීමට ව්‍යවස්ථාමය බලය ඇත්තේ ජනාධිපතිවරයාට නොව කොංග්‍රසය වන බැවින් ව්‍යවස්ථාදායකයේ මෙම පරමාධිපත්‍යය නැවත තහවුරු කල යුතු බවට රිපබ්ලිකන් මන්ත්‍රී නියෝජිත ඩොන් බේකන් බදාදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

 2025 ජනවාරි මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු ඔහු විසින් පනවන ලද තීරුබදු රාශියකට කැනඩාව ගොදුරු වී ඇත. එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුගිය වසරේ බොහෝ කැනේඩියානු නිෂ්පාදන සඳහා 35% ක ආනයන තීරුබදු පැනවූ නමුත් බලශක්ති ආනයන සඳහා අනුපාතය අඩු කළ අතර එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව අතර USMCA නිදහස් වෙළඳ ගිවිසුම මගින් ආවරණය වන භාණ්ඩ සඳහා පුළුල් නිදහස් කිරීම් ද ලබා දෙනු ලැබිණි.

මේ අතර ලන්ඩනයේ පිහිටි ආර්ථික විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් වන ආර්ථික හා ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය (CEPR) පවසන්නේ 2025 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ උද්ධමනය 2.7% දක්වා අඩු වූ නමුත් එය ෆෙඩරල් සංචිතයේ ආරම්භක ඉලක්කය වන 2% ට වඩා ඉහළින් පවතීන බවයි. පෙට්‍රල්, සහ ස්වාභාවික ගෑස් සඳහා තියුණු මිල වැඩිවීමක් සමඟ බලශක්ති මිල 4.2% කින් ඉහළ ගිය අතර ආහාර මිල 2.6% කින් වැඩි විය. නිවාස මිල තරමක් යහපත් වූ අතර 3% කින් ඉහළ ගියේය. ධවල මන්දිරය විසින් පනවන ලද තීරුබදු ඇතැම් ආනයනික භාණ්ඩවලට, විශේෂයෙන් තක්කාලි, කෙසෙල්, අලිගැටපේර සහ කෝපි වලට බලපෑ අතර, ඒවායේ මිල 20% දක්වා ඉහළ ගොස් ඇත.

ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාවේ වෙසෙන “අඩුම ආදායම් ඇති පුද්ගලයින්ට උපකාර කිරීමේ පොරොන්දුව මත තේරී පත් වූ අතර,” ඔහුගේ දෙවන ධුර කාලය තුළ “ආදායම් සහ ධන අසමානතාවය පුළුල් වීම පමණක්” දැකිය හැකි බව (CEPR) තව දුරටත් පවසා සිටි. වත්මන් පරිපාලනය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති “මෙම අසමානතාවයන් තවදුරටත් උග්‍ර කිරීමේ අවදානමක්” ඇති බව ද බදු කපා දැමීමෙන් වඩාත් වාසි ලබාගෙන ඇත්තේ ධනවත් පිරිස පමණක් බවත් ඔවුන් පෙන්වා දේ. කෙසේවෙතත් ට්‍රම්ප්ගේ දෙවැනි ආගමනයෙන් පසු සෞඛ්‍යය, ගොඩනැගීම් හා සේවා කේෂ්ත්‍ර වල නව රැකියා අවස්ථා 70000ක් නිර්මාණය කරමින් රටේ රැකියා වියුක්තිය 4.3% සිමාවේ පවත් වාගෙන යාමට සමත් වී ඇති බව එයට පිළිතුරු වශයෙන් ට්‍රම්ප් පවසා සිටි.

කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්ත්‍රය බවට පත් කරගැනීමට සිහින දකින ට්‍රම්ප් 2026 දී විවෘත කිරීමට නියමිත කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ කරන Gordie Howe පාලම විවෘත කිරීම අවහිර කරන බවට තර්ජනය කරමින් සිටී. ඔහු එක්සත් ජනපදයට වන්දි සහ පාලමේ අයිතියෙන් කොටසක් ද ඉල්ලා සිටී. උතුරු ඇමරිකානු වෙළඳාමට අත්‍යවශ්‍ය මෙම ව්‍යාපෘතිය සඳහා ඔටාවා පාලනය විසින් කැනේඩියානු ඩොලර් බිලියන 6.4 ක වියදමක් සිදු කර මින් ගොඩ නගා ඇත. මෑත කාලයේදී කැනඩාව හා චීනය අතර ඇති කරගත් වෙළඳ ගණුදෙනු හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනය සිටින්නේ කැනඩා රජය සමග අමනාපයෙනි.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ඔටාවා බීජිං සමඟ ඇතිකරගත් සහයෝගීතාවයට පහර දී ඇති අතර, චීනය “කැනඩාව පණපිටින් අනුභව කරනු ඇත” යනුවෙන් x හි ලිවීමට තරම් දුර ගොස් තිබේ. චීනය සමඟ ගිවිසුමකට එළඹුනහොත් නව තීරුබදු ය කරන බවටද සඳහන් කරමින් තම තර්ජන තීව්‍ර කර තිබේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here