ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය එහි ඉතිහාසයේ තීරණාත්මක මොහොතක සිටී. දශක ගණනාවක් පුරා ලංකා විදුලි බලමණ්ඩලය (CEB) ජාතික විදුලි බලසැපයුමේ කොඳු නාරටිය වී ඇති අතර, සමාජ ප්‍රගතිය හා ආර්ථික සංවර්ධනය සක්‍රීය කර ඇත. එහෙත් අද,ගැඹුරු ව්‍යුහාත්මක දුර්වලතා, දේශපාලන මැදිහත්වීම් සහ මූල්‍ය පීඩන එහි ස්ථායිතාවයට සහ ඵලදායිතාවයට තර්ජනයක් වී තිබේ.
මේ හේතුව නිසා, පෙර පැවති රජයන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ කර ඇත. මෙම උත්සාහයන් බොහොමයක් කනගාටුදායකව, මූලික පාලන හා පරිපාලන ගැටලු විසඳීම වෙනුවට හිමිකාරිත්වය සහ වෙළෙඳපොළ ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙය ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පුද්ගලීකරණය කරා යන මාවතකට ගෙන යමින් සිටින බවටත් දිගුකාලීනව ජාතික බලශක්ති ස්වෛරීත්වය අඩපණ වියහැකිය බවටත් සාධාරණ මහජන බියක් මතු වී තිබේ.
විදුලිබල ක්ෂේත්‍රයට බරපතළ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අපි පිළිගනිමු,
නමුත් මෙම ප්‍රතිසංස්කරණ රාජ්‍ය වත්කම් විකිණීම හෝ උපාය මාර්ගික පාලනය අත්හැරීම වෙනුවට උපාය මාර්ගික, ජාතික අයිතිය සහිත සහ යහපාලනය කෙරෙහි අවධානය යොමු වූ ප්‍රතිසංස්කරණ විය යුතුය.
CEB තුළ ඇති අකාර්යක්ෂමතා රාජ්‍ය හිමිකාරිත්වයේම ප්‍රතිඵලයක් නොව, දුර්වල පාලන ව්‍යුහයන් සහ දේශපාලනීකරණය වූ තීරණ ගැනීම් නිසා සිදු වී ඇති බව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.
වසර දහයකට ආසන්න කාලයක්, රජයන් විසින් බොහෝ විට මැතිවරණ ප්‍රතිලාභ සඳහා, වැඩි වන නිෂ්පාදන පිරිවැය අනුව විදුලි ගාස්තු ගැළපීමෙන් වැළකී සිට ඇත. මෙය දැවැන්ත ආදායම් හිඟයක් ඇති කළ අතර, සිදුවන පාඩුව සඳහා භාණ්ඩාගාරයට මුදල් දීමට සිදු විය. ඒ හා සමානව, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන්, දේශපාලනික හේතූන් මත පත් කිරීම් සහ මූල්‍ය විනයේ ඌනතාව මෙම ගැටලු තවත් උග්‍ර කර ඇත.
සමහර තර්ක හා අදහස් යෝජනා කරන පරිදි, මෙම අසාර්ථකත්වයන් සඳහා සේවකයන්ට දොස් පැවරීම නොමඟ යවන සුලු සහ අසාධාරණ ක්‍රියාවකි. සැබෑ ගැටලුව වන්නේ මූලධර්මයක් ලෙස රාජ්‍ය හිමිකාරිත්වය නොව විදුලිබල ක්ෂේත්‍රය කළමනාකරණය කළ ආකාරය යි. නිසි ලෙස පාලනය කළවිට, රාජ්‍ය හිමි උපයෝගිතා ක්ෂේත්‍රයන් විශිෂ්ට ප්‍රතිඵල ලබාදිය හැකි බව බොහෝ රටවල් ඔප්පු කර ඇත.
2024 අංක 36 දරන විදුලිබල පනත නිර්භීත නවීකරණ උත්සාහයක් ලෙස හඳුන්වා දෙන ලදී. එහි පාරදෘශ්‍යතාව වැඩිදියුණු කිරීම, පුනර්ජනනීය බලශක්තිය දිරිමත් කිරීම සහ වැඩි වගකීමක් සඳහා CEB හි කොටස් වෙන් කිරීම ආදී වැදගත් අරමුණු ඇතුළත් වුවද, මෙම මූලික ආකෘතිය වෙළෙඳපොළ ලිහිල් කිරීම කෙරෙහි අනවශ්‍ය ලෙස වැඩි අවධානයක් යොමු කර ඇත.
මෙම පනතින් ව්‍යුහාත්මක වෙන්කිරීම සහ තරගකාරී වෙළෙඳපොළ හරහා විදුලිබල ක්ෂේත්‍රය නැවත හැඩගස්වා ගැනීමට උත්සාහ කළ නමුත්, ගැටලුවේ හදවත ලෙස ඇති මූලික පාලන අඩුපාඩු විසඳුවේ නැත. එසේ කිරීමෙන්, කාලයත් සමග, අවසානයේ පුද්ගලීකරණය හෝ විදේශීය උපාය මාර්ගික බලපෑම සඳහා පහසු ඉලක්ක බවට පත් විය හැකි ඛණ්ඩනය වූ ආයතන නිර්මාණය කිරීමේ අවදානමක් ඇති කළේය.
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව අප විසින් පිළිගනු ලබන නමුත්,
එය අධික වෙළෙඳපොළකරණය හරහා රාජ්‍ය ආයතන දුර්වල කිරීමෙන් නොව, රාජ්‍ය ආයතන සහ නියාමන රාමුවන් ශක්තිමත් කිරීමෙන් ආරම්භ වියයුතු බව විශ්වාස කරයි.
2025 සංශෝධනය: අවිනිශ්චිතතාවය සහ ප්‍රතිවිරෝධතා
2025 සංශෝධනය පවතින තත්ත්වය තවත් සංකීර්ණ කළේය. 100% රාජ්‍ය හිමිකාරිත්වය රඳවා ගනිමින් නමුත් පවතින පරිපාලන ව්‍යුහයන්ම පවත්වා ගැනීමෙන්, එය ප්‍රතිපත්ති ප්‍රතිවිරෝධතාවයක් ඇති කළේය.
එය වත්මන් පාලනයේ අකාර්යක්ෂමතා ව්‍යංගයෙන් පිළිගත්තේය. එහෙත් එය බරපතළ පාලන ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් නොකළ අතර, ව්‍යුහාත්මක දුර්වලතා නොවෙනස්ව තැබුවේය.
මෙවැනි කරුණු නිමිති කරගෙන සේවකයන් අතර අවිශ්වාසය ජනනය වී ඇති අතර, පැහැදිලිව සඳහන් නොකළත්, පුද්ගලීකරණය අවසාන ප්‍රතිඵලය විය හැකි බවට මහජන සැකය ඇති කර තිබේ.
කම්කරු විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාකලාපයන් සහ මහජන විවාද මෙම වැඩෙන අසහනය පිළිබිඹු කරයි.
පුද්ගලීකරණය නිවැරදි පිළිතුර නොවේ
සමහර රටවල, රජයන් මූල්‍ය පාඩු සඳහා ඉක්මන් විසඳුමක් ලෙස විදුලි උපයෝගිතා පුද්ගලීකරණය ලුහුබැඳ ගොස් ඇත.
නමුත් ගෝලීය වශයෙන් මෙම ක්‍රියාව මිශ්‍රඵල අත්දැකීම් පෙන්නුම් කරයි. පුද්ගලීකරණය සමහර අවස්ථාවල කෙටිකාලීන කාර්යක්ෂමතා ලාභ ගෙන ආවද, බොහෝ අවස්ථාවන්හිදී එය ගාස්තු ඉහළ යෑම, නියාමන පාලනය නැතිවීම සහ ලාභ විදේශයන්ට යෑම ද ඇති කර ඇත. වඩා වැදගත් කරුණ වනුනේ, බොහෝ විට පුද්ගලීකරණය ජාතික ප්‍රතිපත්ති නම්‍යශීලිත්වය අඩපණ කිරීමයි.
මෙහිදී විදුලි ගාස්තු, උත්පාදන ප්‍රභේද හෝ ග්‍රාමීය විදුලිකරණය පිළිබඳ තීරණ මහජන අවශ්‍යතා වෙනුවට වාණිජ ප්‍රමුඛතාවලට යටත් විය හැකිය.
බොහෝ සාර්ථක රටවල් රාජ්‍ය හිමිකාරිත්වය සහ කාර්යක්ෂමතාව අත්වැල් බැඳ යා හැකි ප්‍රායෝගික දෙයක් බව පෙන්වා දී ඇත.
Norway’s Statkraft 100% රාජ්‍ය හිමි වන අතර යුරෝපයේ ප්‍රමුඛ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයෙකි.
France’s EDF බහුතර රාජ්‍ය හිමිකාරිත්වය පවත්වා ගනිමින් ගෝලීයව ක්‍රියාත්මක වන අතර, දෙමුහුන් මූල්‍යකරණ ආකෘති භාවිත කරයි.
Singapore’s SP Group සම්පූර්ණයෙන්ම රාජ්‍ය හිමි වන අතර එහි ක්‍රියාකාරී විශිෂ්ටත්වය පිළිබඳ ලෝකය පුරා ප්‍රසිද්ධය.
Vattenfall (Sweden) සහ KEPCO (දකුණු කොරියාව) පැහැදිලි පාලනය සහ උපායමාර්ගික එකමුතුකම, රාජ්‍ය උපයෝගිතා සමෘද්ධිමත් වීමට හැකි වන ආකාරය විදහා දක්වයි.
මෙම උදාහරණ මගින් කාර්යක්ෂමතාවයේ සැබෑ ධාවකයා යහපාලනය මිස පුද්ගලීකරණය නොවන බව ඔප්පු කරයි.
අප විසින් රාජ්‍ය හිමිකාරිත්වය අත්නොහැර විදුලිබල ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා පැහැදිලි, ජාතික වශයෙන් මෙහෙයවන ලද උපායමාර්ගයක් යෝජනා කරන්නෙමු.
කළමනාකරණයෙන් දේශපාලනය ඉවත් කර කාර්ය සාධන පදනම් වූ වගකීම හඳුන්වා දෙන්න.
පැහැදිලි බලයලත් කිරීම් සහිත සුදුසුකම් ලත්, ස්වාධීන මණ්ඩල පත් කරන්න.
පාරදෘශ්‍ය විගණනය සහ අධීක්ෂණය සහතික කරන්න.
PUCSL හි ස්වාධීනත්වය තහවුරු කරන්න.
නිසි මහජන සන්නිවේදනය සහිත පිරිවැය පිළිබිඹු කරන ගාස්තු ක්‍රියාත්මක කරන්න.
තීරණ ගැනීම් පාරදෘශ්‍ය සහ සාක්ෂි පදනම්ව සිදු කරන්න.
දේශීය ප්‍රාග්ධන රැස් කිරීමට බැඳුම්කර, රාජ්‍ය ආයෝජන මාධ්‍ය හෝ අර්ධ පාලන නොවන ලැයිස්තුකරණ භාවිත කරන්න.
ලාභ ආපසු ගෙනයෑම සහ උපාය මාර්ගික යැපීම ඇති කරන විදේශීය මූල්‍යකරණ වළකින්න.
ඉන්ධන ආනයන පිරිවැය අඩු කිරීමට පිරිසිදු බලශක්ති ආයෝජන වේගවත් කරන්න.
විදුලි බලජාල නවීකරණය කරන්න, ඩිජිටල් පද්ධති භාවිත කරන්න සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන්න.
සේවකයන් බාධා ලෙස නොව ප්‍රතිසංස්කරණවල හවුල්කරුවන් ලෙස සලකන්න. සාධාරණ රැකියා පිළිවෙත් පවත්වා ගෙන යන්න සහ පාරදෘශ්‍ය සංවාදයේ වෘත්තීය සමිති සම්බන්ධ කරන්න.
පුද්ගලීකරණයේ සැඟවුණු අනතුරකින් එකක් වන්නේ ලාභ ආපසු ගෙනයාමයි. විදේශීය ආයෝජකයන් උපයෝගිතා පාලනය කරනවිට, සැලකිය යුතු මූල්‍ය ප්‍රවාහයන් වාර්ෂිකව රට හැර යයි. මෙය ගෙවීම් ශේෂය දුර්වල කර දේශීය සංවර්ධනය සඳහා ලබාගත හැකි අරමුදල් ප්‍රමාණය අඩු කළ හැකිය.
දේශීය ප්‍රාග්ධන බලමුළු ගැන්වීම සහ රාජ්‍ය හිමිකාරිත්වය පවත්වා ගැනීමෙන්, ශ්‍රී ලංකාවට විදේශයන්හි කොටස් හිමියන්ගේ ලාභාංශ වෙනුවට පාසල්, රෝහල් සහ යටිතල පහසුකම් සඳහා අරමුදල් සපයමින්, තම විදුලිබල ක්ෂේත්‍රය මගින් ජනනය කරන ලද ආර්ථික වටිනාකම තම දේශසීමා තුළ පවතින බව සහතික කළ හැකිය.
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය ය. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නැත. නමුත් ප්‍රතිසංස්කරණ කිරීමේ තීරණයට සමානව ප්‍රතිසංස්කරණවල දිශාව වැදගත් වේ. පුද්ගලීකරණය අනිවාර්ය හෝ යෝග්‍ය නොවේ.
එක්සත් රාජධානියේ වරලත් සුරැකුම්පත් සහ ආයෝජන ආයතනයේ සාමාජික සහ ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජික.
හීරියමුල්ලගේ බුද්ධික ප්‍රසන්න
ශ්‍රී ලංකා ජනතා පක්‍ෂයේ (SLJP) නායක
Saru FM Media











