කටුනායකදී අත්අඩංගුවට ගනිද්දී පවුම් 40ක රන් අබරණ අතේ – කරේ
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද බව කියන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි පත්තිනිගේ නමැත්තිය ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්ග බෝදරගම මහතා ඊයේ (04දා) නියෝග කළේය.
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි එම කාන්තාව පසුගිය 29 වැනිදා කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන දින හතකට ලබාගත් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කොට විමර්ශන සිදුකළ බවත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු යැයි කියන කෙහෙල්බද්දර පද්මේල බැකෝ සමන් ලෙසින් හඳුන්වන ඇගේ සැමියා ඇතුළු අපරාධකරුවන් පස්දෙනකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම සැකකාරිය හා ඇගේ තුන් හැවිරිදි පුත්‍රයා ද ඔවුන් සමග අත්අඩංගුවට ගෙන ඇත. ඇයට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර නොතිබීම නිසා ඉන්දුනීසියානු පොලිසිය විසින් ඇය නිදහස් කර ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.
කෙසේ නමුත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන මෙරටට එවූ එම සැකකාරිය පසුගිය 29 වැනිදා ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා විට පවුම් 40කට ආසන්න රන් ආභරණ ඇය පැළඳ සිට ඇති බවත් විදේශ රටක සැඟව සිටියදී ඇය හෝ ඇගේ සැමියා කිසිදු රැකියාවක් නොකළ බව අනාවරණය වී ඇති බැවින් එතරම් රන් ආභරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකිවීම නිසා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇයට එරෙහිව චෝදනා ගොනු කරන බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇගේ තුන් හැවිරිදි දරුවා ද අධිකරණයට රැගෙන ඒමට පියවර ගෙන තිබූ අතර දරුවා යමකු භාරයට පත්කරන්නේදැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්ති කූඩුවේ සිටි එම සැකකාරියගෙන් විමසා සිටියේය. උසාවියට ඉදිරිපත් වූ දරුවාගේ සීයාට දරුවා භාරදීම මෙහිදී සිදුවිය.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media