වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල දළදා මාලිගාවේ දේපළ අවභාවිතය වැළැක්වීමට රිට් පෙත්සමක්

0
3

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් එම මාලිගාවට අයත් දේපළ අවභාවිත කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා විසින් ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම ලබන 29 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති නිලංග දෑල මහතාට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඉඩකඩ සලසමින් එලෙස පෙත්සම සලකා බැලීම කල් තැබීමට අභියචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාන්ත පෙරේරා, ඉෂාර ගුණවර්ධන, හර්ෂණී අබේසේකර හා සඳරුවන් සේනානායක යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා පෙනී සිටියේය.

විහාර හා දේවාල ගම් පනත යටතේ දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ගත දේපළ පැවරීම, බදුදීම හෝ අන්සතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුවත් වත්මන් වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල, ගෙවුණු කාලය තුළදී මාලිගාවට අයත් දේපළ අවභාවිත කර ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here