නාගරික මන්ත්‍රීවරුනුත් හවුල්ලු
රාජකාරිවට බාධා කළැයි ආදායම් නිලධාරිහු පොලිසි යති
රුපියල් කෝටි විස්සක් වූ කඩ කාමර හිඟ මුදල් අය කර ගැනීමට යාමේදී නාවලපිටිය නගර සභාවට අයත් සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් හා නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සිය රාජකාරියට බාධා කළැයි නාවලපිටිය නගර සභාවේ ප්‍රධාන ආදායම් පරීක්ෂක ඩබ්. ජේ. පී. ගුණරත්න මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ඊයේ (22 දා) සවස නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම නිලධාරීන් පවසන්නේ නාවලපිටිය නගරයේ ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසල් එකසිය අසූවකින් හා රෝහල අසල මෙන්ම බස් නැවතුම්පළ ඉහළ මාලයේ වෙළෙඳසල්වලින් මෙම මුදල් අය විය යුතු බවයි. මෙයින් සුපිරි වෙළෙඳ සංකීර්ණයේ පමණක් හිඟ මුදල රුපියල් කෝටි 16 ක් බව ද සඳහන්ය. 2018 වසරේ සිට පවතින මෙම හිඟ මුදල් අය කර ගැනීම සඳහා 2025. 8. 26 දා පැවැත්වූ මුදල් හා ප්‍රතිපත්ති සකස් කිරීමේ කාරක සභාවේ අංක 31 මගින් නිර්දේශ කරන ලදුව 2025.09.11 දින මහ සභාවේදී යෝජනා ස්ථිර කර ගන්නා ලද නීත්‍යානුකූල පියවර ගැනීමට යාමේදී මෙම බාධා කිරීම සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.
සභාවේ එකඟ වුවත් මෙහි මන්ත්‍රීවරුන් පිරිසක් එම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් සමග එක්ව මෙම විරෝධය පළ කර රාජකාරියට බාධා කර ඇතැයි පැමිණිල්ලෙන් කියැවෙයි.
මධ්‍යම පළාතේ සහකාර පළාත් පාලන කොමසාරිස් උපදෙස් මත මෙම නිලධාරී පිරිස ගොස් ඇත. ඒ සඳහා අභ්‍යන්තර විගණන නිලධාරි එස්. බී. හරංගල මහතා ප්‍රධාන කළමනාකාර කේ. කන්නන්, ප්‍රධාන ආදායම් පරීක්ෂක ඩබ්.ජේ.පී. ගුණරත්න, ආදායම් පරීක්ෂක එස් ඒ.එම්. සමරතුංග ඇතුළු පිරිසක් ද කාර්යාල සේවකයන් ද පොලිසිය ද ගොස් තිබේ.
මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි භූමිය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අතර එහි ගොඩනැගිල්ල සභාව සතු දේපළක් බවත් දුම්රිය දෙපාර්තමේන්තුව හා සභාව අතර ගිවිසුමක් ක්‍රියාත්මක වන බවත් එය වෙළෙඳුන්ට අදාළ නොවන දෙයක් බවත් නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා සඳහන් කරයි. කෙසේ කෙසේ වෙතත් මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුම් හා අතුරු බදුකරුවන් 2018 සිට මෙම හිඟ බදු මුදල් ගෙවීම මග හරිමින් සිටින බවත් මේ සඳහා සභාවේම මන්ත්‍රීවරුන් පිරිසක් රැකවරණය දීමට කටයුතු කර ඇති බවත් නාගරික මන්ත්‍රී එම්.අයි.එම්. අෂ්රෆ් මහතා පවසයි. කෙසේ වෙතත් ඇතිව තිබෙන මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම හා ඉදිරි පියවර ගැනීම සඳහා සභා ලේකම් ජේ.එම්.පී.එම්. ජයසුන්දර එළඹෙන ඔක්තෝම්බර් 27 දින විශේෂ මහ සභාවක් කැඳවා තිබේ.
ගම්පොළ -සුරංග දිල්හාන්
Saru FM Media