ජාතික ආරක්ෂාවට මොකක්ද මේ වෙලා තිබෙන්නේ?

0
2

විපක්‍ෂ නායක සජිත්
ඕක රීති ප්‍රශ්නයක් නොවෙයි – කථානායක
වැලිගම සභාපති ඝාතන පුවතින් මැතිසබයත් උණුසුම් වෙයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ පුවත ලද සැණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව සභාව දැනුවත් කිරීමට යෑමෙන් ඊයේ (22දා) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

විපක්ෂ නායක – මීට මොහොතකට පෙර බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට මහජන දිනය පවත්වන විට සභාවේදී වෙඩි තියලා. එක් අවස්ථාවක කිව්වා ඒ සභාවේ ජවිපෙ මන්ත්‍රීවරු 02ක් අතුරුදන් කියලා. තව වෙලාවක කිව්වා නීතිඥයකුට වෙඩි තිබ්බා කියලා.

කථානායක- මේ සම්බන්ධයෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතුයි.

විපක්ෂ නායක – මට කතා කරන්න දෙන්න. වැලිගම සභාපතිතුමා රාජකාරි කරගෙන යනකොට වෙඩි ප්‍රහාරවලට ලක්වෙලා. මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා- වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධ සිදුවීම වාර්තා වුණා. දැන් පොලිසිය ඒ ගැන විමර්ශනය කරමින් යනවා. ඒ ගැන ලැබෙන තොරතුරු මහජන ආරක්ෂක ඇමැතිවරයා තව පැය කිහිපයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි. වගකිව යුත්තන් අත්අඩංගුවට ගැනීම ගැන ඉක්මනටම වාර්තා කරනවා.

විපක්ෂ නායක – වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති කියන්නේ උඩින් පාත් වුණු කෙනෙක් නොවෙයි. ඔහු මහජන නියෝජිතයෙක්. මොකක්ද මේ ජාතික ආරක්ෂාවට වෙලා තිබෙන්නේ?

කථානායක- ඕක රීති ප්‍රශ්නයක් නොවෙයි. (සභාවේ ඝෝෂා)

විපක්ෂනායක – අපිට මේ දැන් ආරංචි වෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවිතක්ෂයට පත්වෙලා කියලා.

චතුර ගලප්පත්ති මහතා- මේක හදිසි අවස්ථාවක්. කිසිම හේතුවක් නැතිව මගේ දිස්ත්‍රික්කයේ අපේ සභාපතිවරයා සභාවේදී මරන්නේ. මේවා ගැන පියවර ගන්න.

කථානායක- මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා පැහැදිලිවම කියනවා ආරක්ෂක ඇමැතිතුමා ප්‍රකාශයක් කරනවා කියලා.

චාමර සම්පත් දසනායක මහතා- මම වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මට ඒක අහන්න දෙන්න. මේ ව්‍යවස්ථාදායක සභාවට පත් කරලා සිටින කෙනාට විරුද්ධව අල්ලස් කොමිසමට දැන් පැමිණිල්ලක් දීලා තිබෙනවා. ඔබතුමාට විරුද්ධවත් පැමිණිලි දෙකක් තිබෙනවා අල්ලස් එකේ. ගෙවල් කුලී දෙකක් ගත්තා කියලා. ඔබතුමාට ඔය පුටුවේ ඉන්නත් බෑ.

ෂානක්කියන් රාසමාණික්කම් මහතා- ඔබතුමාට එරෙහිව අල්ලස් නඩු තිබෙන නිසාද ඔබතුමා අල්ලස් එක ගැන එන වරප්‍රසාද ප්‍රශ්න ගන්න දෙන්නේ නැත්තේ?

රවී කරුණානායක මහතා- වාර්තා වන අන්දමට අමාරු තත්ත්වයක් තිබෙන්නේ සෞඛ්‍ය ඇමැතිවරයා මෙතන ඉන්නවා. සභාපතිවරයාව කරුණාකරලා හෙලිකොප්ටරයක් යවලා කොළඹට ගෙන්වගන්න.

කථානායක- ඒ ගැන සෞඛ්‍ය අංශ මැදිහත් වේවි.

චතුර ගලප්පත්ති මහතා- දැන් මේ හදිසි තත්ත්වයක්. මම මේ සභාවට බාධා කරලා නෑ. අපි බලය ලබාගත් එකම ප්‍රාදේශීය සභාවේ එකම සභාපතිවරයාට මහජන දිනය වෙලාවේ ඇවිත් හිසට සහ පපුවට වෙඩි තියලා. දැන් ආරංචි වෙනවා ඔහු මරණයට පත්වෙලා කියලා. දැන් කොහොමද මහජන ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ? කරුණාකරලා මේවාට එරෙහිව පියවර ගන්න. ආරක්ෂාව ගැන ගැටලුවක් තිබෙනවා.

නලින්ද ජයතිස්ස – අපි මේ ගැන අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. අපි බලමු කවුද මේ පිටුපස ඉන්නේ කියලා. අපරාධ නතර කිරීම සඳහා තමයි කටයුතු කරමින් යන්නේ. ඕනෑම පුද්ගලයකුගේ ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමයි. අපරාධ රැල්ලත් මේ මර්දනය කරමින් යන්නේ. ඒ සඳහා සහාය දෙන්න.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here