කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

0
4

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක වන මෙරට ශ්‍රම බලකායෙන් සියයට හතලිස් පහක් (45%) නියෝජනය කරන ලක්ෂ දොළහකට ආසන්න කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායකයින් ගෙන් අති විශාල බහුතරයක් පාස්කු ප්‍රහාරයේ සිට පසුගිය කාලයේ මෙරට ඇති වූ විවිධ සංසිද්ධි හේතුවෙන් බිඳ වැටී ඇතැයි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලය (SLCSMI) පවසයි.

කොළඹ එම වාණිජ මණ්ඩලීය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ එහි සභාපති මහාචාර්ය රොහන් ද සිල්වා මහතා මෙහි දී ප්‍රකාශ කළේ,අතීතයේ මෙරට ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් පුරුකක් වූ එසේම එදා හොඳම ව්‍යවසායකයන් කියා මල් මාලා දමා පිළිගෙන ජාතික සම්මාන පිරිනැමූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ වන විට විශාල වශයෙන් බිඳ වැටී ඇති බවත්, අද එම ව්‍යාපාරිකයින් බැංකුවලට ගිය විට පරාටේ නීතිය පෙන්වා ඔවුන් නොසලකා හරින බව ද වහන්ස සිල්වා පෙන්වා දුන්නේය.

ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බිහිකිරීමට ශක්තිමත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්ව ආර්ථිකයක් තිබිය යුතු බව ද අවධාරණය කළේය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයනයට සම්බන්ධ වී ඇත්තේ සියයට දහයක් පමණක් බවත් මෙම SME නිෂ්පාදන සහ සේවා ජාත්‍යන්තරකරණය සඳහා විශේෂයෙන් විදේශීය වෙළඳපොළට ඔවුන් රැගෙන යාමට රජය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතනවල මීට වඩා මැදිහත් විය යුතු බව මහාචාර්ය රෝහාන් ද සිල්වා මහතා අවධාරණය කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා වෙන් වූ කිසිදු කර්මාන්තපුරයක් මෙතෙක් මෙරට පිහිටුවා නැත.එම නිසා ආයෝජන මණ්ඩල කලාප තුළ හෝ කර්මාන්ත පුරවර තුළ හෝ ඒ ආසන්නයේම මහා පරිමාණ කර්මාන්තවල අතුරු නිෂ්පාදනවලට එකතු වන හා සෙසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉඩම් සහ වැඩි පහසුකම් ලබා දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ගෙන්වන අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා මෙරට රසායනාගාර (Testing lab) නොමැතිවීම විශාල ගැටලුවක් බවත්,ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා ගන්නා කාලය අති විශාල බවත් එම නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද සෙසු කර්මාන්තකරුවන් විශාල අපහසුතාවලට මුහුණ දෙන බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ වාණිජ මණ්ඩලයේ (SLCSMI) ජ්‍යෙෂ්ඨ උපසභාපති කොලින් ප්‍රනාන්දු මහතා මෙහි දී පෙන්වා දුන්නේය. එසේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලියාපදිංචි කිරීමට දීර්ඝ කාලයක් යෑම ද විශාල ගැටලුවක් බව ද එම නිසා මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගැනීමට නම් අප රට SME friendly රටක් කළ යුතු බව ද කොලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය

මේ පිළිබඳව රජයට පුළුල් අවධානයක් ඇති බවත්,රජයේ යෝජනා සහ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද එසේ නොවන හොත් මෙරට ආර්ථිකය විශාල බිඳවැටීමකට ලක්වන බව කොළින් මහතා පෙන්වා දෙන ලදී.

සංගමයේ හිටපු සභාපති මොහිදීන් කාදර් මහතා පැවසුවේ පරාටේ නීතිය යටතේ ණයකරුවන්ගේ දේපළ පවරා ගැනීමේ දී ඔවුන් ජීවත්වන නිවස බැංකුවලට පවරා ගැනීම නතර කිරීමට නීති ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. SME ක්ෂේත්‍රයට ණය මුදලක් ලබාදීම යනු වියදමක් නොව එය ජාතික ආයෝජනයක් බව ද රටේ ප්‍රධාන ජාතික වැදගත් කාරණයක් ලෙස SME ක්ෂේත්‍රය යළි ගොඩ ගැනීම රජය යුතුකම බව ද මෙතෙක් කී දෙනෙකුට එසේ ණය ලබා දුන්නේ දුන්නේ ද එසේ ණය ලබා දුන්නේ නියම සුදුස්සන්ට ද යන්න ගැටලුවක් බව කාදර් මහතා පැවසීය. මේ සඳහා රජයේ අරමුදල් වැය නොකර තමන්ගේ සහ තම සේවක දායකත්වය ඇති EPF/ETF අරමුදලෙන් එම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ හැකි බව ද ඊට ඇති හොඳම උදාහරණය සිංගප්පූරුව බවද කාදර් මහතා පෙන්වා දුන්නේය.

මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කඩාවැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීමට රුපියල් මිලියන 460ක ණය මුදලක් වෙන් කර ඇති බවත්,නමුත් මෙම මුදල් ලබා දෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හඳුනා ගැනීමේ ගැටලු මතුවී ඇතැයි මහාචාර්ය රොහාන් ද සිල්වා මහතා පැවසීය. මෙම SME ව්‍යවසායක ජාලය බිඳ වැටුනහොත් මෙරට බැංකු පද්ධතිය ඇතුළු සමස්ත ආර්ථිකය බිඳ වැටීමට ඉඩ ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ තමන්ගේ ව්‍යාපාර නැවත ගොඩ ගත නොහැකි වූ සමහර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සිය දිවි නසාගෙන ඇති බවත්,රුපියල් ලක්ෂ පහ බැගින් දෙන බව කී ණය යෝජනා ක්‍රමය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කී දෙනෙක්ට දුන්නද යන්න කිසිම තොරතුරක් නොමැති බව ද සභාපති රොහාන් ද සිල්වා මහතා පැවසීය. බිඳ වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පුනරුත්ථාපනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තම සංගමයේ ඉල්ලීම පරිදි එම ව්‍යවසායකයින් පනස් දෙනකුට ණය ආධාර ලබාදීමට තීරණය කර ඇතැයි ද රෝහාන් සිල්වා මහතා පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here