ශ්‍රී ලංකා යෞවනයෝ එකට එක කරති

0
9

19 න් පහළ ශ්‍රී ලංකා – කොදෙව් යොවුන් ක්‍රිකට් තරගාවලිය

පළමු තරගය පරාජයට පත්ව සිටි බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කූලිජ් හි සහභාගි වුණු දෙවැනි යොවුන් එක්දින තරගයේදී කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව තියුණු තරගාවසානයකින් පසු කඩුල්ලක ජයක් වාර්තා කිරීමට සමත්වූවේය. ඒ සමගම තරග 7 කින් සමන්විත දෙරට අතර යොවුන් එක්දින තරගාවලිය මේ වන විට දෙපිළම 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවේ.

පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම ලකුණු 201 කට සීමා කිරීමට යාපනය හාර්ට්ලි විදුහලෙන් පැමිණ සිටින පා දඟ පන්දු යවන විග්නේෂ්වරන් ආකාශ් ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. යාපනයේ හාර්ට්ලි විදුහලින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරී පත්ව සිටින 17 හැවිරිදි වියේ පසුවන විග්නේෂ්වරන් යවන ලද පන්දුවාර 10 දී නිලකුණු පන්දු වාරයක් ද සහිතව ලකුනු 30 ක් ඇතුළත ප්‍රතිවාදී පිතිකරුවන් තිදෙනකු දවා ගන්නා අතර වාරයේදී විරාන් චමුදිත ලකුණු 21 කට කඩුලු 2ක් ද සහ පළමු තරගයේදී ශතකලාභී කවීජ ගමගේ ලකුණු 28 කට කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ නායක විමත් දින්සර වන අතර ඔහු පන්දු 61 කදී ලකුණු 45ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 7 ම ලකුණු 178 ක්ව තිබියදී අංක 9 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සෙත්මික සෙනෙවිරත්න නොදැවී රැස් කරන ලද ලකුණු 20 නොවන්නට මෙම තරගය ද ශ්‍රී ලංකාවට අවාසිදායක වන්නට තිබිණ. ජයග්‍රහණයට ලකුණු 24ක් අවශ්‍ය තිබියදී පිටියට පිවිසෙන සෙත්මික පන්දු 32 කට මුහුණ දෙමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ආවේ අනෙක් අන්තයේ පිතිකරුවන් ද ආරක්ෂා කර ගනිමිනි.

කෙසේ වෙතත් ඉනිමේ 9 වැනි කඩුල්ල ද ජයග්‍රහණයට ලකුණු 5ක් තිබියදී දැවී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය අවධානමට ලක් කරවන්නක් විය. එහෙත් තම වගකීම කරට ගත් සෙත්මික සෙනෙවිරත්න අවසන් පන්දුවාරයේදී හතරේ පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කළේය. ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන විට තවත් පන්දුවාර 2ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමේ ඉදිරිපෙළ කඩුලු 2 ම බිඳ වැටෙද්දී ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 06ක් ලෙසිනි. එහෙත් අංක 4 පිතිකරු ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ජොෂුවා ඩ්‍රෝන් පන්දු 112 කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 82ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ. කෙසේ වෙතත් සත්කාරකයන්ගේ අවසන් කඩුලු 4 ම ලකුණු 21 ක් ඇතුළතදී බිඳ දැමීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත්වීම නිසා ඔවුන්ගේ ඉනිම පන්දුවාර 47.5 කදී ලකුණු 201 කට සීමාවිය.

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම පන්දුවාර 47.5 කදී සියලු දෙනා දැවී ලකුණු 201 යි – (ජොෂුවා ඩ්‍රෝන් 82, එරෂිනෝ ෆොන්ටේන් 18, බ්‍රෙන්ඩන් බූඩූ 28, මැතිව් මිලර් 12, ජොනතන් වැන් ලාන්ජ් 26, විග්නේෂ්වරන් ආකාෂ් 30/3, කවීජ ගමගේ 28/2, විරාන් චමුදිත 21/2 .සෙත්මික සෙනෙවිරත්න 27/1, රසිත් නිම්සර 43/1, චාමික හීනටිගල 31/1)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 48 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 204 යි – (පුලීෂ තිලකරත්න 24, සෙනුජ වෙකුණගොඩ 24, කවීජ ගමගේ 11, විමත් දින්සර 45, චාමික හීනටිගල 30, රමිරු පෙරේරා 10, සෙත්මික සෙනෙවිරත්න 20, සැකර් කාටර් 42/3, බ්‍රෙන්ඩන් බූඩූ 27/2, විටෙල් ලුරෑවිස් 31/1, ඒඩියන් රාෂා 27/1, මැතිව් මිලර් 26/1, ජකීම් පොලාර්ඩ් 42/1)

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here