ශ්‍රී ලංකාව මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව සොයා යන ගමන ඇරැඹේ

0
4

ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා මෙන්ම ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. විසින් බලගන්වනු ලබන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම, බංගලිදේශයේ පැවැත්වෙන, මධ්‍යම ආසියානු ‘නේෂන්ස් කප්’ වොලිබොල් ශූරතා පිරිමි තරගාවලිය යටතේ අද (22දා) සිය පළමු තරගයට සහභාගීවීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක දිනය වන අද එරට වේලාවෙන් පස්වරු 1.00ට පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා බවට පත්වනුයේ ඇෆ්ගනිස්ථානයයි.

අයේෂ් දිල්ෂාන් විසින් නායකත්වය දරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට අමතරව, මෙම තරගාවලියේදී ටර්කමෙනිස්තානය, බංගලිදේශය, නේපාලය සහ මාලදිවයින සමගින් තරග වැදීමට නියමිත අතර හෙට දිනයේදී ටර්කමෙනිස්තානය සමගින් වන අදාළ තරගය යෙදී තිබේ. 24 වැනිදා බංගලිදේශය සමගින් ද 26 වැනිදා මාලදිවයින සමගින් ද 27 වැනිදා නේපාලය සමග ද ශ්‍රී ලංකාවට මෙම මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ සෙසු තරග යෙදී තිබේ. තරගාවලියේ අවසන් මහා තරගය 28 වැනිදා පැවැත්වීමට නියමිතය.

මධ්‍යම ආසියානු කලාපය යටතේ පැවැත්වෙනි‘නේෂන්ස් කප්’ තරගාවලියකට ශ්‍රී ලංකාව සහභාගී වන පළමුවන අවස්ථාව මෙය වේ. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන කාලික වසන්තප්‍රිය මෙන්ම අභ්‍යාසක ෂමිල් මලින්ද යන සමස්ත පුහුණු කාර්ය මණ්ඩලය ද ජාතික කණ්ඩායමක අදාළ වගකීම් දරනුයේ පළමු වරට වීම කැපී පෙනෙයි. වසර ගණනාවක් පුරා ක්‍රීඩකයන් ලෙසින් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ලබාගත් අත්දැකීම් මගින් එම පුහුණු කාර්ය මණ්ඩලය විසින් දක්ෂතා අතින් පිරිපුන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගය වෙත රැගෙන යනු ඇතැයි බලාපොරොත්තු තබා ඇති අතර, දශක දෙකකට වැඩි කාලයක් පුරා ජාතික ක්‍රීඩාව සවිගන්වන ඩයලොග් ආසිආටා, ශ්‍රී ලංකාවට මධ්‍යම ආසියානු නේෂන්ස් කප් ශූරයන් බවට පත් වීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කරයි.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ sports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරිනැමීම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩයලොග්, ක්‍රීඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here