ඔබේ සැමියාගෙත් ඔබෙත් බැඳීම් පලුදු කරන වැරදි.

0
14


විවාහ ජීවිතය මල් පිරුණු ගසක් වුවත් එය ඇතැම් කාලයන්හි කුණාටුවලට හසු වෙනවා.මල් බිම හැලෙනවා. නියඟයන්‍ට හසු වෙනවා. මල් නොපිපී ගස මිය යන්නට ආසන්න වෙනවා.එහෙත් ඉවසීම සහ සමාව දීමත්, දරා ගැනීමත් බොහෝ ගැටලු විසඳෙන්නට හේතුවක්.

ඇයි සැමියාට ඔබව එපා වන්නේ?

ඔබ නිතරම චෝදනා කරන්නියක් නම් ඔහුගේ වරදක් දකින තුරු ඇස් දල්වා බලා සිටින්නියක් නම් ඒ පැවැත්ම වෙනස් කර ගන්න. නැත්නම් ඔහුට ඔබව එපා වී යනවාට සැක නැහැ.

ප්‍රශ්න විසඳන්නට කෝප ගැනීම සහ රණ්ඩුවට යාම ඇත්තටම අවශ්‍ය නැහැ. සමාව දීම සහ සාකච්ඡා කිරීම තමයි ඇත්තටම සුදුසු.

ඔහු මොනවා කළත් සැකෙන් බැලීම, ඔහුගේ දුරකථනය, ලැප්ටොප් එක චෙක් කිරීම, සමාජ ජාලා වල පාස්වර්ඩ් ඉල්ලමින් බලපෑම් කිරීම,ඔහුගේ මුදල් වියදම් කිරීම ගැන අන්තිම සතයට ආදායම් වාර්තා ඉල්ලීම ඔහුව සම්පූර්ණයෙන්ම අවුල් කරනවාට සැකයක් නැහැ.

මිතුරු හමුවක්, ඥාති නිවසක කටයුත්තකට යාම වැලැක්වීම පමණක් නෙවෙයි. ඔහු කැමති ක්‍රිකට් තරඟයක් බලමින් රූපවාහිනිය ළඟ හිඳින විට දරුවා ඔහුට දී වැඩකටයුතු පැවැරීම පවා හොඳ නැහැ. ඔහුටත් ඔහුගේ නිදහස සහ ඔහුට අනන්‍ය වූ වෙලාවක් අවශ්‍යමයි.

සැමියාට ඔබේ උදව් සහ ආදරය අත්‍යවශ්‍යම අවස්ථාවල ඔබ කෝපයෙන් පසු වීම හෝ ඔහුව සමච්චලයට ගැනීම නිසා ද ඔබේ බැඳීමට හානි වෙන්න පුලුවන්.

ඔබ දරුවන්ගේ කටයුතු සහ ගෙදර වැඩ ගැනත් ඔබේ රැකියාව ගැනත් සම්පූර්ණ කාලය යොදවන්නට පටන් ගත්තොත් සිදු වන්නේ ඔහු ඔබෙන් දුරස්ව යාමයි. ඒ නිසා ඔබ දෙදෙනාට අනන්‍ය වූ වෙලාවක් තබා ගන්න. ආදරය කරන්න, දෙදෙනා එක්ක ගමනක් යන්න, එක්ව කෑම පිසින්න, ගී ගයන්න. එය ඔබේ බැඳීම වෙනුවෙන් හරිම වැදගත්.

ප්‍රේමණීය විහිලු සහ සමච්චල් කිරීම කියන්නේ කාරණා දෙකක්. ඔබ ඔහුව පිරිසක් ඉදිරියේ සමච්චලයට ලක් කිරීම, ඔහුගේ වැරදි අඩුපාඩු ගැන කියමින් විහිලු කිරීම නිසා ඔබේ බැඳීම දෙදරා යන්න පුලුවන්.

ඔබේ සමහර පුරුදු නිසා ඔහු ඔබෙන් දුරස් වෙන්න පුලුවන්. අපිළිවෙල අපිරිසිදුකම වගේ පුරුදු ඔබේ ලිංගික ජීවිතයට මොනතරම් බලපෑමක් කරන්න පුලුවන් ද කියලා ඔබ හිතලා නැත්නම් ඒ ගැන හිතන්න.ඒ වගේම දරුවන් ඉපදීමෙන් පස්සේ ලිංගික සම්බන්ධතා වලින් දුරස් වීමට උත්සාහ කිරීමත් ඔහුට ඔබව එපා වෙන්න හේතු වේවි.

ඔබ ස්මාර්ට් බිරිඳක් නම් ඔහුට පවුලේ සියලුම වගකීම් බාර දී කරබා ගත යුතුම නැහැ. මූල්‍ය ගැටලු, දරුවන්ගේ ගැටලු ආදියට ඔබට හැකි තරම් උදව් වෙන්න.රැකියාවක නිරත වෙන්නේ නැත්නම් ස්වයං රැකියාවක් හෝ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරමින් පවුලේ මූල්‍ය ඉපයීම් වලට ශක්තියක් දෙන්න.

බැඳීමක් ශක්තිමත් වන්නට නම් සමාව දීම ඉතා වැදගත්. විසඳා ගත හැකි සෑම ගැටලුවක්ම කල් නොයවා විසඳා ගන්න.ඔබ දෙදෙනාට එය තනිව විසඳා ගත නොහැකි නම් උපදේශනයට යොමු වෙන්න.නමුත් සිහිතබා ගත යුතු දෙයක් තිබෙනවා, දිගින් දිගටම ගැටුම් ඇති වෙනවා නම් ඒ සම්බන්ධතාවය දුර නොයා අවසන් කිරීම ඇත්තටම හොඳ දෙයක්.

මෙවැනි හැසිරීම් නිසා ඔබේ සැමියාගේ හිතෙන් ඔබ දුරස්වී යාමට ඉඩක් තිබෙනවා. සබඳතාවය ශක්තිමත් කර ගන්න නම් හැම විටම එකිනෙකාට ප්‍රිය චරිතයක් වීම ඉතාම වැදගත්.ඔබ සියල්ල උසුලා ගනිමින් දුක් විඳිය යුතු නැහැ.ඒත් ජීවිතය විඳිමින් සතුටින් විවාහ ජීවිතයක් ගතකිරීමටත් කැපවීම අවශ්‍යයි.අනෙකාගේ නිදහස,ස්වාධීන බවට ගරුකරමින් එකිනෙකා කෙරෙහි වඩාත් ආදරණීය මිත්‍රශීලි බැඳීමක් තුලින් ඔබේ විවාහය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය කාරණා ඔබට දැන් වැටහෙනවා ඇති.

ඔහුගේ ආදරය සහ ගෞරවය හිමි කරගනිමින් ජීවත් වීම මොන තරම් සුන්දර ද?
ආදරයෙන් සහ සැනසීමෙන් ජීවත් වෙන්න සුබ පැතුම්!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here