ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල 370ක වෛද්‍යවරු GMOA එක අද කොළඹට කැඳවලා

0
3

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාල 370ක සිටින සිය සාමාජික වෛද්‍යවරු අද (11 වැනිදා) කොළඹට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දුවක් ගනීමට බවද පැවසේ.

එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මාධ්‍යට පවසා ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ට සුවිශේෂී ‘වෛද්‍ය සේවාවක්’ ස්ථාපිත කර වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න විසඳන ලෙසට බලකරමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොනවත්වා ක්‍රියාත්මක වන බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලවල පවතින ගැටලු පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවත්ය.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලවල සිටින වෛද්‍යවරු සියලුදෙනාම අද (11) කොළඹට කැඳවා නැතැයි ද එම කාර්යාලවල නියෝජිතයන් පමණක් මෙම සාකච්ඡාවට පැමිණෙන බැවින් එම කාර්යාලවල දෛනික කටයුතුවලට ඉන් බලපෑමක් සිදුනොවන බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මාධ්‍යට පවසා තිබේ.

මේ වන විට රෝහල්වල නොමැති ඖෂධ පිටතින් මිලදී ගැනීමට තුණ්ඩු නිකුත් නොකිරීම, පිටතින් කරගත යුතු රසායනික පරීක්ෂණවලට වෛද්‍ය නිර්දේශ ලබානොදීම හා විශේෂඥ වෛද්‍යවරු රාජකාරි ආවරණ කටයුතුවලින් ඉවත්ව සිටීම ආදි වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටී.

රජයේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට රජය කඩිනමින් අවශ්‍ය පියවර නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරනවා හැර විකල්පයක් නොමැති බවද ඔහු අවධාරණය කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here