එංගලන්තයේ රැව් පිළිරැව් දුන් නිර්වාණය පිළිබඳ කථාව

0
5

(06 වැනිදාට) යෙදෙන බළංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන්ගේ 129 වැනි ජන්ම දිනය වෙනුවෙන් සිදුකෙරෙන උපහාරයකි)

මම එකල විද්‍යෝදය පිරිවෙණේ උගනිමින් සිටියෙමි. අලුත් කාමර පෙළේ පැරකුම් සමාජයේ පිරිස 1952 අප්‍රේල් නිවාඩුවට දකුණු පළාතේ විහාර වන්දනාවට යෑමට තීරණයක් ගෙන ගමන සූදානම් කරගෙන උදෑසනින්ම පිටත්වූ අප දහවල් දානයට ගියේ බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙණටය.

අප අතර වැඩි දෙනාට අවශ්‍ය වූයේ අප කවදාවත් දැක නැති, එහෙත් වැඩි දෙනා නමින් හඳුනන මහපඬිවරයාණ කෙනකු ලෙස සලකන අතිගරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රය නායක හාමුදුරුවන් වහන්සේ දකින්නට මිස දානය වළඳන්නට නොවේ යැයි කීවද වරද නැතැයි සිතමි. ඒ පිරිස අතර වූ මට මේ නායක හිමිපාණන්ගේ නම මතක තිබුණේ අපේ අම්මා, මා කුඩා කලැ කියවන්නට රිසියෙකු වූ නිසා පොළෙන් ගෙනැවිත් දී තිබුණ බෞද්ධ සිසුබොධය කියවද්දී කියවුන නම එය බැවිනි. එය ඉතාමත්ම කුඩා වූ පොතක් නිසා මම වහාම කියවා අවසන් කළ බව මතක තිබේ.

ධර්මනන්ද පිරිවෙණට ගිය අපට එහි වටපිටාවේ කිසිවක් බලන්නට උවමනාවක් නොතිබුණේ නායක හාමුදුරුවන් හමුව කතාකරන්නට තිබුණ ආසාව නිසාමය. බස් එකෙන් බැස්ස බවත් ඉන් පසුව කෙළින්ම නායක හාමුදුරුවන් වැඩ සිටින තැන වැලිගෙපොල මෛත්‍රී මූර්ති හිමියන්ගෙන් අසා දැනගත් ඉක්මනින්ම එහි ගිය බවක් මිස මට තවමත් ධර්මානන්ද පිරිවෙණේ කිසිවක් මතක නැත. මතක ඇත්තේ විශාල පුස්තකාලයක් තුළ නායක හාමුදුරුවන් වැඩ සිටි බව පමණකි. පුස්තකාලයේ තිබුණ විවිධ පොත පත උන්වහන්සේ කියවූ ඒවාය.

අපි ගන්න ගන්න පොත උන්වහන්සේ කිසිම ප්‍රමාදයක් නැතිව “ආ, ඕකේ තියෙන්නේ මේ කාරණය ගැනයි. ඒ ගැන ඊට වඩා වෙනස් විදියට මේ මහත්මයා, මේ නායක තෙරුන් වහන්සේ ලියා තිබෙනවා…” ආදී වශයෙන් සෑම පොතක් ගැන සම කියාදීමට තරම් පොහොසත් වූහ. එ පමණක් නොව උන්වහන්සේ එදා කතාකළ හැටි පවා අදත් මතකයේ සිටීමට තරම් සිත් අලවන සේ කතා කළහ. තරුණ භික්‍ෂු පිරිසක් වූ අප එතනින් පිටව ගියේ පුදුමාකාර හැඟීමක් ඇති කරගෙනය. එතැනදී ඇතිවුණ ශ්‍රද්ධාව, ප්‍රසාදය, ආගමාලය සහ ජාත්‍යාලය පමණක් නොව ඒ දවස්වල පැවති බෞද්ධ උද්‍යෝගය ද්විගුණ ත්‍රිගුණකොටගෙනය.

වැඩිහිටි මහලු තෙරනමක් දැක ඒ තරම් උද්‍යෝගයකින් පිටව ගිය අවස්ථාවක් දැක සිටි කිසිකෙනකු අප අතර නොවී යයි ද සිතමි. ඒ කතා කළ මොහොතේ පටන්ම අප සැම දෙනාගේම සිත්වල ඇති වූයේ අපත් කවදා හෝ උන්වහන්සේ මෙන් උගතුන් විය යුතුය යන හැඟීමය. එය ඇති කිරීමට උන්වහන්සේ සමත් වූයේ කෙසේද යන්න මට අවබෝධ වූයේ උන්වහන්සේ සමග දිග ඇසුරකට පත්වූ පසුවය.

උන්වහන්සේ මට දෙවන වර හමුවූයේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පාමුවර් හි පිහිටි ඕකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේදීය. වස් විසීම සඳහා උන්වහන්සේ එහි වැඩමවාගත්තේ බුරුම ජාතික ඌ මියට්සෝ මහතා විසිනි. ලන්ඩන් බෞද්ධ විහාරයේ සද්ධාතිස්ස නායක හිමියන්ගේ මඟ පෙන්වීම අනුව ඒ මහතා එහි වැඩම කරවූයේ ඒ කාලය වන විට ඉංග්ලිෂ් භාෂාවෙන් කටයුතු කළ හැකි මහතෙරුන් වහන්සේලා ඒ තරමට ලංකාවේ වැඩ නොසිටි බැවිනි. මමත්, මක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට උගෙනීමට ගොස් සිටි ලබුදූවේ සිරිධම්ම හාමුදුරුවනුත් එහිදී මේ නායක හාමුදුරුවන් වහන්සේගේ අන්තේවාසිකයන් මෙන් ක්‍රියා කෙළෙමු. උන්වහන්සේට ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි බවක් අපි ඒ වන තුරුම දැන නොසිටියෙමු. තරුණ අපට වඩා හොඳින් නායක හාමුදුරුවන් වහන්සේට ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකිවීම අප කාගේත් පුදුමයට හේතු විය.

සිරිධම්ම හාමුදුරුවොත් මමත් අතරක් නැතිව වේලාවක් නැතිව උන්වහන්සේගෙන් නොයෙක් දේ ගැන ප්‍රශ්න ඇසීමු. කවදාවත් උන්වහන්සේ අප අසන දේ ගැන කෙටියෙන් හෝ අලසව හෝ නොසැලකිල්ලකින් හෝ පිළිතුරු දුන් බවක් සඳහන් කළ නොහැක්කේ, හුදෙක් උන්වහන්සේගේ මෛත්‍රියම උන්වහන්සේගේ නමට අන්වර්ථ වූවක් බවද සිතමින් ඇතිවන ගෞරවයෙනි.

මම 1952 දී දුටු ඒ විශාල පුස්තකාලය තුළ උන්වහන්සේ වැඩ සිටියේද, නැතහොත් උන්වහන්සේ තුළ ඒ පුස්තකාලය පිහිටියේ දැයි මට නොයෙක් වාරවල සිතුනි. මම සිරිධම්ම හිමියන්ට ද කීවෙමි.

ඕකන් හෝල්ට් මාලිගයේ වස් වසා සිටි කාලය තුළ නොකඩවා එක්ව සිටිමින් කළ ධර්ම සාකච්ඡාවන්වලදී අපට උන්වහන්සේ තුළ පැවති ස්මරණඥානය, සාරාණිය කථාවෙහි බුහුටි බව සහ සාමීචි පටිපදාවෙහි පරිචිතියත්, කුඩා දරුවකුගේ වැනි නිර්මල නිරහංකාරී ගතියත්, පාණ්ඩිත්‍යයෙහිදී පඬිවරුන් පණහක හැටකගේ පාණ්ඩිත්‍යයට සමකළ හැකි විශාරදත්වයක් පමණක් නොව අතිශයින්ම අහිංසක විහිලු තහලුවලින් ද යුක්ත සමානාත්මතාවාදිත්වයත්, මැනවින් අවබෝධකරගත හැකි විය.

අඩුපාඩුවක් නැතිව හිනාවිය හැකි තරමේ කථාන්තර, භාවනා කරන්නට ගිය පුද්ගලයන් පිළිබඳ අත්දැකීම් සහ ඔවුන් පිළිබඳ විවිධ තොරතුරු, තමන් වහන්සේ භාවනා කොට ලත් අත්දැකීම් සහ හිමාලයට භාවනා සඳහා වැඩම කිරීමේ විස්තර ආදී නොයකුත් දේ ගැන අසමින් කාලය ගතකළ අපට පුදුම දැනුම් සම්භාරයක් ඇති කරගත හැකි වූ අතර මේ කාලය ගතවූයේ දවසකින් දෙකකින් මෙනි.

ඒ උන්වහන්සේ පළමුවරට යුරෝපයට වැඩම කළ අවස්ථාව වීම නිසා සද්ධාතිස්ස නායක හාමුදුරුවන්ටත් සිරිධම්ම හාමුදුරුවන්ටත් මටත්, උන්වහන්සේ වෙනුවෙන් කළයුතු දෙය බොහෝ විය. ඒ වර්ෂයේ අගෝස්තු මාසයේදී පවත්වනු ලැබූ, ක්‍රිස්මස් හම්ප්‍රිස් විනිශ්චයකාර තුමන් විසින් මෙහෙයවනු ලබන බුඩිස්ට් සමර් ස්කූල් නමැති බෞද්ධ අධ්‍යයන වැඩමුළුවේ සතියක වැඩසටහන වෙනදා මෙන්ම හොඩෙස්ඩන්හි ප්‍රධාන පල්ලියේදී විශාල අන්තර්ජාතික පිරිසක් සහභාගි වූවකි. එයට සහභාගි වූ ප්‍රධාන ආරාධිත කථිකයා වූයේ අතිගරු ආනන්ද මෛත්‍රය මාහිමියෝය. කථාවට මාතෘකාව වශයෙන් ලැබුණේ නිර්වාණය කෙබඳු වූවක්ද යන්නය. ඇමෙරිකාවෙන්, යුරෝපයෙන් සහ ආසියාවෙන් ද, නවසීලන්තය වැනි වෙනත් රටවලින්ද උගත් බෞද්ධ අබෞද්ධ ධර්ම ධරයන් මෙන්ම මහා පඬිවරයන්ද වූ එම රැස්වීම එදා රෑ අවසන් කරගත හැකි වූයේ පැය පහක හයක කාලයකිනි.

ඒ තරම් ප්‍රියජනකවූත් රසවත් වූත් වැඩදායක වූත් බෞද්ධ සභාවක් යුරෝපයේදී හෝ ඇමෙරිකාවේදී මා දැක ඇත්නම් ඒ ලෝක ආගම් පාර්ලිමේන්තුවේ සිය වස සපිරීම නිමිතිකොට ගෙන 1993 දී අතිගරු දලයිලාමාගේ මූලිකත්වයෙන් චිකාගෝහිදී පවත්වන ලද රැස්වීම් පමණි.

එම ධර්ම දේශනයේ ප්‍රතිරාවය ලන්ඩනයේත්, එංගලන්තයේත්, යුරෝපයේත්, උගත් බෞද්ධයන් අතර පැතිර ගියේ උන්වහන්සේ පිළිබඳව පුදුම ගෞරවාදරයක් ඇතිකරවමිනි. ලන්ඩනයේ පාලි පොත් සමාගමේ සභාපතිනි, ආචාර්ය අයි. බී. හෝනර් මැතිණිය ඒ පුවත අසා කතාව මුද්‍රණය කරවන්නට සහ උන්වහන්සේ බැහැ දකින්නට අවශ්‍ය බව වහාම පළ කළාය. අවාසනාවට මෙන් එය පටිගත කරවන පහසුකම් මදකම නිසා එහිදී එය කළ නොහැකි විය. සද්ධාතිස්ස නාහිමියනුත්, සිරිධම්ම හිමියනුත් මමත් පාලි පොත් සමාගමට ගිය එම ගමනේදී හෝනර් මැතිනිය උන්වහන්සේට ලන්ඩනයේදී කළ හැකි මහත් කාර්යභාරයක් ගැන මතක් කර ආරාධනා කර සිටියත් උන්වහන්සේට ආපසු වැඩම කිරීමට පැවැති අවශ්‍යතාවය නිසා එය කළ නොහැකි විය.

අපි ඕකන්හෝල්ට් මන්දිරයට ආපසු පැමිණ මෙතෙක් උන්වහන්සේගෙන් නොඅසා සිටි ප්‍රශ්නයක් ඇසීමු. ඒ උන්වහන්සේ උගත්තේ කවර පිරිවෙණකදැයි දැනගැනීම සඳහාය. තමන් වහන්සේ කවදාවත් පිරිවෙණක නූගත් බවත් ඉගෙනගත් සියල්ල ඉගෙන ගත්තේ පන්සලේදී මගේ ගුරුවර සීලානන්ද ලොකු හාමුදුරුවන්ගෙන්මයි. ධර්මයත් පාලි එහෙම ඉගෙන ඉගෙන ඉංග්‍රීසි වැඩිදියුණු කර ගත්තේ ඕල්කොට් විද්‍යායතනයේදී… යයි ද පිළිතුරු ලබා ගතිමු. 1919 දී පැවති ඉංග්‍රීසි පංක්තියෙහි ගරුතර පොල්වත්තේ බුද්ධදත්ත මහානායක හිමිපාණන් ද එම පන්තියේම එකට උගත් බවත්, ඒ කාලයේදීම කොළඹ ගුවන්විදුලි සේවයෙන් එම සේවයේ පළමුවෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද ධර්ම දේශනය පවත්වන ලද්දේ ද තමන් වහන්සේ විසින් බවත් දැනගන්නට ලැබීමු.

මේ කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධිපතිව සිටියේ පී. ද. එස්. කුලරත්න මහත්මයා. ඒ මහතාගේ ඉල්ලීම අනුව එහි ශිෂ්‍යයන්ට පාලි සංස්කෘත සහ බුද්ධ ධර්මයත් උග්නවීම සඳහා මේ දෙනම පත් කරගන්නා ලදහ.

1923 දී නාලන්දා විද්‍යාලය අරඹන විට තාවකාලික වශයෙන් එහි සේවයට වැඩම කළ උන්වහන්සේ විසින් එම විද්‍යාලය නාලන්දා නමින් නම් කරන ලද අතර එහි ආදර්ශ පාඨය වූ, අපදාන සොභිනී පඤ්ඤා (ප්‍රඥාව චරිතය හොබවයි) යන්නද භාවිතයට යෙදවූහ. නාලන්දා විද්‍යාලය නොවැටෙන තත්ත්වයට ගොඩනැංවූ පසුව කුලරත්න මහතා උන්වහන්සේ ආපසු ආනන්ද විද්‍යාලයටම කැඳවා ගත්තේය. අවුරුදු දොළහක්ම එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උන්වහන්සේ ඉගැන්වීම කළහ.

මෙකල බොහෝ දෙනා නොදනිතත්, හිටපු මුදල් ඇමැති ආචාර්ය එන්. එම්. පෙරේරා, අධ්‍යාපන ඇමැතිව සිටි අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල, රොබර්ට් ගුණවර්ධන, ප්‍රසිද්ධ ලේඛකයකු වූ ජී. බී. සේනානායක ආදී මහත්වරු උන්වහන්සේගෙන් උගත් ශිෂ්‍යයන් අතර වූහ. ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ දියුණුව සඳහා කුලරත්න මහත්මාත් සමග එක්ව ක්‍රියා කළ කාලයේදීම අනගාරික ධර්මපාල උතුමාගේත් ආශ්‍රය ලැබීම අදත් උන්වහන්සේ ගෞරවයෙන් සලකන දෙයකි.

මේ කාලය තුළ ආනන්ද මෛත්‍රය මාහිමියන් වහන්සේ රට පුරා බණ දහම් දෙසීමෙහිද උත්සුක වූහ. බෝධිසත්ත්ව සමාගම ආනන්ද විද්‍යාලයේ ආරම්භ වූයේද මේ කාලයේය. විද්‍යාල නිවාසයකම නැවතී වැඩ සිටි උන්වහන්සේ නේවාසික ගුරු ශිෂ්‍ය පිරිස සමග උදය සවස තෙරුවන් වැඳ භාවනා කිරීමට පුරුදු කළ අතර එහි විහාරයක් නැතිකමේ අඩුපාඩුව සලකා මූර්ති හා චිත්‍ර ශිල්පී සාර්ලිස් මහතා ලවා බුදු පිළිමයක් සාදවා තාවකාලිකව එහි විහාරයක්ද ඇති කරවූහ. අද දක්වා විහාරය එහිම අභිවෘද්ධියකි. භාවනා වැඩීම කෙතෙක් දුර දියුණුව ගියේ ද කියතහොත් මෝහන විද්‍යා (හිප්නොටිසම් සහ මැස්මරිසම්) ගුප්ත විද්‍යා ආදිය ගැන පවා මහත් උද්‍යෝගයක් එකල දක්නට ලැබුණ බව ද සඳහන්ය.

මා ලන්ඩන් හි සහ ඔක්ස්ෆර්ඩ්හි කළ සේවය නවත්වා නිව්යෝර්ක් නගරයේ සේවයට පැමිණි පසුව ග්‍රෙගරි ක්‍රෙමර් මහතාගේ ආරාධනය අනුව උන්වහන්සේ ඇමෙරිකාවට ද පමුණුවා ගැනීමේ අවස්ථාව සැලසිණි. බුද්ධ ධර්මය කොම්පියුටර්ගත කරවීමට ඒ මහතා මෙහිදී කොම්පියුටර් යන්ත්‍රයක් උන්වහන්සේට පරිත්‍යාග කෙළේය. එය ක්‍රියාකරවන හැටි උන්වහන්සේට උගැන්වූයේ ද ඒ මහතාමය. එවකට අනූහතර හෝ පස්වැනි වියෙහි සිටි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එය ඉගෙන ගැනීමට පැයක් එකහමාරක් පමණ ගතවන්නට ඇතැයි සිතමි. ක්‍රෙමර් මහතා පවා එයින් පුදුම විය.

ළමයකුට ධර්මය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු සපයන කල්හිත්, වැඩිහිටියකුට එවැන්නක් විස්තර කරන කල්හිත්, ප්‍රතිවාදියකුට එවැන්නක් විස්තර කරන කල්හිත්, උන්වහන්සේ තුළ දක්නට ඇත්තේ එකම ආකාරයක පරිත්‍යාගශීලී කරුණාවෙන් සහ මෛත්‍රියෙන් පිරී ගිය සිතකි. ඒ සමාන සිතක්ම එවැනි ප්‍රශ්නයක් පඬිවර ධර්මධරයකු සමග සාකච්ඡා කරන කල්හිද උන්වහන්සේ තුළ මම දකිමි.

උන්වහන්සේට කවර වේලාවක හෝ අවදිව සිටින්නට ද, කවර වේලාවක හෝ නිදාගන්නට ද අපහසුකමක් නැත. උන්වහන්සේ සැතපෙනුයේ මධ්‍යම රාත්‍රිය ඉකුත්වූ පසුවය. දිනක් අපි මේ ගැන ඇසීමු. “මේ අය සිතන්නේ මම නිතරම පොත් ලියනවා කියලයි. මම කරන්නේ අලුත් යමක් දැනගැනීමට උත්සාහ කරන එකයි. ඒක පොත් ලියන්නට කරන වැඩක් නොවෙයි. කියවනකොට යම් යම් දෙය ලියවෙනවා.. ඒකට මම පොත් ලියනවායයි කියනවා…” යයි සිනාසෙමින් උන්වහන්සේ වරක් තම ගෝලයන් දෙස බලා සඳහන් කළහ. “අවශ්‍යතාවයක් දැනුනොත් මට දිනකින් දෙකකින් වුණත් පොතක් ලියා නිම කරන්න පුළුවන්…” කියා පවසන උන්වහන්සේ එසේ ලියන්නට පටන්ගත් විට නින්ද ආහාරපාන ගැන කවුරුවත් මතක් කරන තුරු නොදන්නා සේ ලියති; සමහරවිට කියවති.

විදේශ ධර්ම ප්‍රචාරයෙහි යෙදී සිටින භික්‍ෂූන් වහන්සේගේ දුෂ්කරතාවන් ගැන අත්දැකීමෙන් ලත් අවබෝධයක් උන්වහන්සේට ඇත්තේ වෙනත් එවැනි මහලු වයසේ සිටින කිසිම මහතෙර නමකට නැති ආකාරයෙනි. කලක්ම දඹදිව ධර්ම ප්‍රචාරක භික්‍ෂූන් වහන්සේ ගැන පමණක් දැන සිටි උන්වහන්සේ එංගලන්තයට පැමිණි කල්හි වඩාත් පුළුල් අත්දැකීම් ඇතිකර ගත්හ. “ඔබ වහන්සේලා කරන්නේ බෝධිසත්වවරුන් විසින් පමණක් කරන වැඩක්, ධර්මය නොදන්නා අය සිත් සතන්වලින් බොහොම දුප්පත්, එවැන්නවුන් දුක්වලින් මුදවන්නට ක්‍රියා කරන්නේ බෝධිසත්වවරුන් පමණයි.

ඒ නිසා කිසි දවසක ධර්මය කියා දීමට අධෛර්යය වන්න එපා…” යයි ඔක්ස්ෆර්ඩ්හි සිට ලංකාවට වැඩම කරන විට සිරිධම්ම හාමුදුරුවන්ටත් මටත් උන්වහන්සේ අනුශාසනා කළහ. එම අදහස මා අනුමත කළහ. එම අදහස මා උන්වහන්සේ තුළ හරියටම ක්‍රියාත්මක වන හැටි දුටුවේ වරින්වර කරන ධර්ම සාකච්ඡාවන්ට දෙන පිළිතුරු ඇසීමෙනි.

ආනන්ද විද්‍යාලයේ පිහිටු වූ බෝධිසත්ත්ව සමාගම මෙකල බෞද්ධ සංගමය වුවත් එයින් බිහිවූ අනුගාමික පිරිස ලංකාවේ ප්‍රධාන බෞද්ධ සමිතිවල උfiා්ගිමත්ම පිරිස වෙති. තරුණ කාලයේ වෙනත් අය මෙන්ම විප්ලවවාදී යයි කියන ගණයේ ලිපි ලේඛන මෙන්ම ධර්ම ලිපිද උන්වහන්සේගෙන් ලියවුණේ ආනන්ද විද්‍යාලයේදී ලැබුණ විවේකයත් ආධුනිකයන්ගේ පෙළඹවීමත් නිසා බවද වරක් අපට මහානායක හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළහ. ජීවිතයේ තදින්ම දැනුන වෙන්වීමේ වේදනාව, ආනන්ද විද්‍යාලය හැරයෑම බවත් ගම් පළාතට වියයුතු සේවය තමන් වහන්සේගෙන් ලබා දීම ද වැදගත් දෙයක් වන බවත්, නගරයේ සිටීමට වඩා පිටිසර විවේකයේ සිටීම අගය කරන බවත්, වරක් අප සමග උන්වහන්සේ සඳහන් කළහ.

ගණනින් මතක නැති තරමේ විශාල පැවිදි ශිෂ්‍ය පිරිසක් උන්වහන්සේ ඇති කළ බවද පවසන්නේ මහත් අභිරුචියකින් මෙන්ම සිනාවෙන් ද යුක්තවය. ඒ බොහෝ දෙනා අතර ඇතැමුන් පැවිදි භූමියේ නැතත් ඇති භික්ඛු බෝධි වැනි විදේශ ශිෂ්‍යයන්ගෙන් සිදුවන මහත් සේවය උන්වහන්සේගේ බලවත් සතුටයි. විදේශවලත් ස්වදේශයේත් ධර්ම ප්‍රචාරක වැඩවල යෙදෙන ලියන කියන ශිෂ්‍යයන් වෙනුවෙන් උන්වහන්සේ දක්වන්නේ බලවත් සතුටකි. බෝධිසත්ත්වගුණෝපේත අප ගරුතර අපේ ආනන්ද මෛත්‍රය මහා නායක මාහිමියන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බුදුබව අත්වේවායි පතමු.

නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති
පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස මාහිමිපාණන් විසිනි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here