අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 3ක 500ක් පීඩාවට

0
3

දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි

කළු – කැලණි – අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට

තඹුත්තේගමින් බුලත්කොහුපිටියෙන් මරණ 2ක්

පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 3කට අයත් පුද්ගලයන් පන්සියයකට අධික පිරිසක් ඊයේ (20දා) දහවල් වනවිට බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 2ක් ද වාර්තා වී තිබෙනවා. එම මරණ තඹුත්තේගම හා බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලින් වාර්තා වන බවද එම මධ්‍යස්ථානය කියයි.

කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පුද්ගලයන් මෙලෙස බලපෑමට ලක්ව සිටියේය.

අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් නිවාස 101කට අර්ධහානි සිදුව ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.

එසේම ගතවූ පැය 12ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 73 දෙනකු පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ගතවූ දින කීපය තුළ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ඇති ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පැවැති අධික වැසි තත්ත්වය හමුවේ කැලණි, කළු සහ අත්තනගලු ඔය යන ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පැවැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ඊයේ (20 වැනිදා) උදෑසන 6.00න් අවසන් වූ පැය 12ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එය මිලිමීටර් 169ක වර්ෂාපතනයක් ලෙස වාර්තා වී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පස් කඳු කඩා වැටීම නිසා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමන් වාර 24 ක් ඊයේ අවලංගු කර ඇති අතර අද (21දා) තවත් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා- ඡායාරූපය – බෝයවලාන – ජයන්ත දිසානායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here