චිත්‍රපටයක් වගේ ඇවිත් ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරය මහ දවල් කොල්ලකති

0
3

විනාඩි 4යි : හතර දෙනයි

පැරිසියේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ලුවර් කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි අධික වටිනාකමෙන් යුක්ත ප්‍රංශ රාජකීය ආභරණ 8 ක් කොල්ලකරුවන් හතරදෙනකු විසින් විනාඩි 04ක් ඇතුළත කොල්ලකා පලාගොස් තිබේ.

මෙම සොරකමෙන් පසු කෞතුකාගාරය තාවකාලිකව වසා දමා ඇත. ලොව වැඩිපුරම සංචාරකයන් පැමිණෙන මෙම කෞතුකාගාරයට මහ දවල් ඇතුළු වූ කොල්ලකරුවන් මිල අධිකම ආභරණ සොරාගෙන ස්කූටර්වලින් පලා ගොස් තිබේ. චිත්‍රපටයක් ආකාරයෙන් සිදුවූ මෙම මංකොල්ලය එරට බලවත් කැළඹීමකට පත්කර ඇත.

පසුගිය ඉරිදා (19 දා) කෞතුකාගාරය අමුත්තන්ට විවෘත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසු, එනම් 09:30 ත් 09:40 ත් අතර කාලය තුළ මෙම මංකොල්ලය සිදුවිය. සොරුන් හතර දෙනකු වාහනයක සවිකර ඇති යාන්ත්‍රික ඉනිමඟක් ආධාරයෙන් සේන් ගඟට ඉහළින් පිහිටි බැල්කනියක් හරහා කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියට ඇතුළු වී තිබේ. බැටරි බලයෙන් ක්‍රියාත්මක වන කටර් භාවිත කරමින් කොල්ලකරුවන් දෙදෙනකු වීදුරු පැනලය කඩා එම ගැලරියට ඇතුළු වී තිබේ. ඉන් පසු ඔවුන් රාජකාරියේ යෙදී සිටි ආරක්ෂකයන්ට ගබඩාවෙන් ඉවත් වන ලෙස තර්ජනය කර පසුව ප්‍රදර්ශන කුටි දෙකකින් ආභරණ සොරකම් කර තිබේ.

ප්‍රචණ්ඩත්වයෙන් තොරව මංකොල්ලය සිදු කර ඇති බවත් ‘ඉතා පළපුරුදු’ බව පෙනෙන කොල්ලකරුවන් යතුරුපැදිවලින් පැන යෑමෙන් ඉතා පැහැදිලි සැලැස්මක් ඇතිව කොල්ලය සඳහා පැමිණ ඇති බව අවධාරණය වන බවත් එරට රජයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

සීසීටීවී දර්ශන මත පොලිසිය සැකකරුවන් හතර දෙනා සොයමින් සිටී. සොරකම් කරන ලද ආභරණ 19 සියවසේ එරට ප්‍රංශ රජවරුන්ට අයත් ඒවා වෙයි. ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය විසින් සොරකම් කරන ලද ආභරණ ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

III වන නැපෝලියන්ගේ බිරිඳ සහ ඉයුජිනි අධිරාජිනියට අයත් ඔටුන්නක් සහ කරාබු කට්ටලයක්, මාරි ලුයිස් රැජිනට අයත් මරකත මාලයක් සහ මරකත කරාබු යුගලයක්, මාරි ඇමේලි රැජිනට සහ හෝර්ටෙන්ස් රැජිනට අයත් මාලයක්, ඔටුන්නක් සහ තනි කරාබුවක් සොරාගත් ආභරණ අතර වේ. මෙම ආභරණවල දියමන්ති සහ මිල කළ නොහැකි මැණික් ගල් දහස් ගණනක් ඇතුළත් වේ. මෙම සොරකම සෙවීමට ඊශ්‍රායල් ආරක්ෂක සමාගමක සේවය ලබා ගැනීමට ප්‍රංශ රජය තීරණය කර තිබේ.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here