ඉන්දියාව පරදා එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

0
2

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

කාන්තා ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉරිදා ඉන්දියාවේ ඉන්දෝර් හි පැවැති තරගයේදී ඉන්දියාවේ ජයග්‍රහණය පෙනී තිබියදී එංගලන්ත පන්දු යවන්නියන්ගේ උපක්‍රමශීලී පන්දු යැවීම හමුවේ ලකුණු 4ක පරාජයක් උරුමකර ගැනීමට ඉන්දියානු කාන්තාවන් හට සිදුවිය.

ඉන්දියා – එංගලන්ත තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 288 ක් රැස් කළේ ජයග්‍රහණය කළ හැකි පසුබිමක් නිර්මාණය කරමිනි. එංගලන්තයේ ඇමී ජෝන්ස් සහ ටැමී බියුමන්වි ආරම්භය ලබාගත් අතර ඇමී අගනා ලකුණු 56 ක් ලබාගත් අතර ටැමී බියුමන්වි ලකුණු 22ක් ඉනිමට එක් කළේ එංගලන්තයට හොඳ අඩිතාලමක් දමා දෙමිනි. ඉන් පසු එංගලන්තයේ නායිකා නැතලි ෂිවර් බ්‍රෙන්ට් සහ හෙදර් නයිට් එක්ව එංගලන්තය ඉතා ඉහළ තැනකට ගෙන ගියේ ඉන්දීය පන්දු යවන්නියන්ට රිසිසේ පහර දෙමිනි. අගනා ශතකයක් ලබාගත් නෙදර් නයිට් පන්දු 91 කදී ලකුණු 109 ක් ලබාගත්තාය.

තරගයේ අවසන් පන්දුවාර කිහිපයේ ලකුණු වේගය වැඩිකර ගැනීමට ගිය එංගලන්තයට කඩුලු පූජා කිරීමට සිදුවුවත් අවසානයේ දී පන්දුවාර 50 නිමවෙද්දී ලකුණු 288 ක් ලබාගත්තේ කඩුලු 8 ක් දැවී යෑමෙනි. ඉන්දියාව වෙනුවෙන් අගනා පන්දුයැවීමක නිරතවූ දීප්ති ශර්මා නිසා ලකුණු 300 ට එහා යෑමට තිබූ එංගලන්ත ඉනිම අඩාල කළේ කඩුලු 4ක් බිඳ දමමිනි.

ලකුණු 289 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 50 තුළ ලබාගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 284 ක් පමණි.

මුල සිටම ඉතා හොඳින් ක්‍රීඩා කළ ඉන්දියාව ඉතා පහසුවෙන් ඉලක්කය කරා යන බව පෙන්වූ අතර ස්මිත්‍රි මන්දනාගේ පිත්තෙන් අගනා ලකුණු 88 ක්ද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 70 වක්ද දීප්ති ශර්මා ලකුණු 50ක් ද ඉනිමට එක් කළේ ජයග්‍රහණයට සියල්ල සූදානම් කරමිනි.

කඩුලු 3කට ලකුණු 234 ක ප්‍රබල තැනක සිටි ඉන්දියාව මන්දනාගේ දැවීයෑමත් සමග ඉන්දීය පිල දෙදරා ගියේ පන්දු ගණනට ලකුණු ගණන සමානව අවශ්‍ය පසුබිමක් නිර්මාණය කරමිනි.

ඉන්පසු එංගලන්ත පන්දුයවන්නියන් සිය ශක්තිය උපරිම පෙන්වමින් කඩුලු දවාගත්තේ එංගලන්තය දෙසට ජයග්‍රහණය හරවමිනි.

අවසානයේ ඉන්දීය කණ්ඩායමේ අමන්ජොත් කෞර් සහ ස්නේහේ රානා පිටිය මැද කරකියාගත දෙයක් නොමැතිව පරාජය භාරගත්තේ පන්දුවාර 50 අවසානයේ ලකුණු 4ක් ජයග්‍රහණයට ලබාගැනීමට නොහැකිවීමෙනි.

සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here