කමතක් හදාගන්න ආධාර දෙනව නම් පිරිසිදු බීජ වී අඩු මිලට දෙන්න පුළුවන්
ගොවියෙකුට සරු වී අස්වැන්නක් ලබා ගැනීමට නම් නිසි ප්‍රමිතියෙන් යුත් බීජ වී සපයාගත යුතුව ඇත. ආදි කාලීන ගොවියා තමාගේම කුඹුරෙන් ලබා ගන්නා වී තුළින් සුදුසුම කොටස තෝරා බේරාගෙන ඉදිරි කන්නය සඳහා ආරක්ෂිතව ගබඩාකර තබා ගැනීම සිරිතක් විය.
එදා මෙන් නොව අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගම්ද බීජ වී නිෂ්පාදනය කරති. ඒවා විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරෙති. මේ වනවිට වෙළඳපොළේ රුපියල් 230 – 235 ආදී වශයෙන් විවිධ මිල ගණන්වලට බීජ වී තිබේ. නව තාක්ෂණයෙන් තෝරා බේරා වියළා ප්‍රමිතියෙන් යුත් සියයට සියයක් සහතික කරන ලද බීජ වී නිෂ්පාදනය කරන පාරම්පරික ගොවි මහතෙකු පසුගියදා අපට හමුවිය.
ඔහු නමින් තිස්සමහාරාම වැලිපොතේවල පියදාස ඒකනායක මහතා ය. ඔහු වසර විස්සකට ආසන්න කාලයක සිට බීජ වී නිෂ්පාදනය කරන්නෙකි. ඒ මහතා මෙසේද පැවසීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය හා උපදෙස් අනුව පෙර සිට මා බීජ වී නිෂ්පාදනය කරනවා. එදා වී ටික වේලා අත්ට්‍රැකටර් පෑන් එකෙන් හුළං කර පිරිසිදු කර තමයි බීජ වී හැදුවේ. මගේ මිත්‍රයෙකුට කියලා නව තාක්ෂණයේ යන්ත්‍රයක් හදාගෙන ඒකෙන් තමයි ඉතාම පිරිසිදු සියයට සියයක් සහතික බීජ වී නිෂ්පාදනය කරන්නේ. ඒ යන්ත්‍රය හදලා තියෙන්නේ ඉවතලන යකඩ කෑලි උපයෝගී කරගෙන. මෝටරයක් තුළින් ක්‍රියාත්මක කරන විදියට අවශ්‍ය ස්ථානයකට රැගෙන යන්න පුළුවන්.
මැෂිමට වියළන ලද වී දාපු ගමන් ඒවා ස්ථාන කිහිපයකින් ගල්, වැලි, දුහුවිලි, තුවාල වී ඇට සහ අඩුබර වී ඇට අයින්වෙලා නිසි බරෙන් හා ප්‍රමිතියෙන් යුත් වී ඇටය පමණක් වෙනම ස්ථානයකින් මළුවලට වැටෙනවා. මේ තාක්ෂණය තියෙන්නේ මා ගාව පමණයි වෙන කෙනෙක් ගාව නැහැ. මම ලංකාවේ අඩුම මුදලට රුපියල් 200ක් වැනි මිලකට කිලෝ එකක් අලෙවි කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැහැ. වී වේලා ගැනීම සඳහා නිසි කමතක් නැහැ. ඉස්සර සිමෙන්ති දාලා වී වේලන්න කමතක් හදාගන්න රජයෙන් ආධාර දුන්නා. දැන් නැහැ. අපිට කමතක් හදාගන්න ආධාර දෙනව නම් සියයට සියයක් සහතික බීජ වී අඩු මිලකට රටට හදලා දෙන්න පුළුවන්” යැයි පැවසීය.
Saru FM Media