පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW:

බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල් පරිපාලනය පත්වීමට එරෙහිව වාරණයක් ඉල්ලා නඩු පැවරීමේ ඉඩක් ඇත.ලංකාවේ නෝනාවරු කවරදාකවත් මේ කෙහෙවලු පටලවා ගැනීමේ කාර්යයනම් අත් හරින්නේම නැත.
ඒ නිසා ආසියානු කාන්තා නෙට්බෝල් සූරතාවලිය පවත්වා ඇති දොළොස් වතාවෙන් හය වතාවක් සූරතාව දිනා ආසියාවේ ප්‍රබලම නෙට්බෝල් රට හැටියට සැළකෙන ශ්‍රී ලංකාවට අවස්ථා ගණනාවකදී සූරතාවය කරා යන්නට නොහැකි වූයේ ක්‍රීඩිකාවන් නිසා නොවේය.ක්‍රීඩාව පරිපාලනය කළ ඇත්තියන්ගේ දුර්වලකම් නිසාය.මේ පරිපාලන ගහ ගැනිලි නිසා කණ්ඩායමකට පහසුවෙන් පුහුණුවීම් කරන්නට කාලයක් නොලැබෙන අතර ඒ නිසාම සූරතාවලිය පෙනෙන මානයට එනතුරු පුහුණුකාරියක්වත් නොමැතිව වේලෙන්නට සිඳුවීම සාමාන්‍ය තත්ත්වයය.

ඇතැම්විට පුහුණුකාරිය වැනි චරිත තීරණය වන්නේම අදාළ පරිපාලනයට ඇති සමීප හිතවත්කම්ය.ඒ නිසාම ඇතැම් විට ජාත්‍යන්තර තරගවලදී පත්වන පුහුණුකාරියන් කිසිවක් නොකර කණ්ඩායම සමඟ පසෙකට වී අසුන් ගෙන තරග නරඹා පැමිණෙන අවස්ථාද අපි දැක ඇත්තෙමු.එසේම මේ ක්‍රීඩිකාවන්ගේ අති දක්ෂ ක්‍රීඩා රටාව නිසා ආසියාව තුළ නෙට්බෝලයෙන් ප්‍රබලත්වයට පත්ව සිටින ශ්‍රී ලංකාවේ ඇතැම් නෝනාවරු ආසියාවේ සභාපති තනතුර දක්වාම යන ආකාරය ද දැක නරඹා ඇති අතර වාසනාවකට,ආසියානු නෙට්බෝලය වැඩ කළත් නොකළත් ඒ ඒ රටවල රටේ ක්‍රීඩාව හා බැදුණු අය සිය ජාතික කණ්ඩායම පොහොසත් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙලක් ඇති බැවින්,ආසියාවේ අනිත් රටවල නෙට්බෝල් නිද්‍රාවට පත් වන්නේ නැත.

මේ මොහොතේත් ආසියාවේ නෙට්බෝල් සභාපති ශ්‍රී ලංකාවේ විය යුතුය.එහෙත් ආසියානු පිරිමි නෙට්බෝල් කණ්ඩායම් පළමු වරට හොංකොං හී දී තරග වඳින විට ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් නැත.එම ආසියානු තරගාවලිය පැමිණෙන විට ආසියානු සභාපතිණියට ශ්‍රී ලංකාවේ වැඩ කිරීමට ඉඩක් නොතිබුණු අතර එය තහනමට ලක් වී ක්‍රීඩා අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පරිපාලනය මෙහෙයවිම තමන්ගේ අතට පවරාගෙන තිබිණ.එහෙත් ඔවුන් වෙනුවට ඉදගෙන සිටියා මිස මෙවැනි කරුණු ගැන ආරංචි කර සොයා බැලු බවක් නොපෙනෙන්නේ ආසියානු පිරිමි සූරතාවලියේ පළමු වැන්නට ශ්‍රී ලංකාව නොපැමිණි නිසාය.

මෙම පරිපාලනය බලයට පැමිණි පසුව පැවති ඊවා තරගාවලියේදී ද පිරිමි ජාතික සූරතාවයක් පැවති අතර කාලයක සිට පිරිමි නෙට්බෝල් ක්‍රීඩාවක් රටේ සක්‍රීයව පවතින්නේය.ජාතික කණ්ඩායමක් තෝරා ගැනීමක් වැනි කාරණයක් ප්‍රසිද්ධ කර එම කණ්ඩායම සූදානම් කරන්නට ශ්‍රී ලංකා නෙට්බෝල් උනන්දු වූවේ නම් සමහර විට පළමු ආසියානු පිරිමි නෙට්බෝල් සූරතාවය,පළමු කාන්තා සූරතාවය 1985 දී ශ්‍රී ලංකාව දිනා ගත් ආකාරයටම 2026 දී ශ්‍රී ලංකාවේ නම ද පළමු පිරිමි නෙට්බෝල් සූරතාවය දිනූ කණ්ඩායම හැටියට එක් වන්නට තිබිණ.

ඒ නිසා සත්කාරක හොංකොං කණ්ඩායම පළමු ආසියානු පිරිමි සූරයන් වූ කතාවේ ශ්‍රී ලංකාවේ පිරිමි නෙට්බෝල් ගැන කඳුළු කතාව එසේ ඉතිහාසයට එක් වන්නේ සහභාගි නොවූ කණ්ඩායමක් හැටියටය.කණ්ඩායම් හතරක් සහභාගි වූ මේ තරගාවලයේ පළමු වටයේ තරගයකදී හොංකොං කණ්ඩායම මැලේසියාවට පරාජය වුව ද,අවසාන තරගයේදී මැලේසියාව පරාජය කරමින් සූරතාවය දිනා ගත්තාය.මේ තරගාවලියට මාල දිවයින සහ ජපානය ද එක්ව සිටි අතර තෙවන ස්ථානය දිනා ගත්තේ මාල දිවයින කණ්ඩායමය.මේ සමග වන ඡායාරූපයේ සිටින්නේ සූරයන් වූ හොංකොං කණ්ඩායමය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here