සූර්ය බලයෙන් විදුලිය උත්පාදන ඒකකයක් සඳහා ලබාදෙන අවසන් මිල තීන්දු කිරීමට අද (10) කැබිනට් අනුකමිටුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.
මේ කමිටුව කුමාර ජයකොඩි, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත හා සුනිල් හඳන්නෙත්ති යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතය.
මේ කටිටුවේදී සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදන විදුලි ඒකකයක් සඳහා ලබාදෙන උපරිම මිල රුපියල් 37ක් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදන විදුලි ඒකකයක් රුපියල් 37 දක්වා බැස්සුවහොත් එම කර්මාන්තය කරගෙනයාමට නොහැකි වනු ඇතැයි එහි ක්ෂේත්‍ර ප්‍රධානියෝ කියති.
මීට පෙර එම විදුලි ඒකකයක් රුපියල් 45කට ලබා ගැනීමට යෝජනාව තිබියදී ද ඉන් ලද සූර්ය විදුලි නිෂ්පාචකයින් ලබා ගත හැකි ලාභය 9%කට සීමාව තිබුණු බවද පැවසේ.
අදාළ තීන්දුව අද (10) ගතහොත් පුනර්ජනීය බලශක්ති කර්මාන්තයේ මළ ගම සිදුවන බවත්, ගල් අගුරු වෙළෙන්දන්ට රජ මගුල් කෑ හැකි බවත් එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් කියා සිටියේය.
මේ තත්ත්වයත් සමඟ ඉදිරියේදී විදුලි බිල 10%කින් පමණ වැඩිවිය හැකි බවද ඔවුන් කියා සිටී.
ගල් අගුරු ජාවාරමේ තවත් හොරයක් !
මේ අතර, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටින්නේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට පැමිණ තිබෙන තුන්වන සහ හතරවන නෞකාවල මෙරටට රැගෙන විත් ඇත්තේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු බවට සැකයක් තිබෙන බවත් මෙම ගල් අඟුරු තොග එකම කාලසීමාව තුළ ගොඩබෑම් කටයුතු සිදු කළේදැයි ද යන්න ද බරපතළ සැකයක් පවතින බවයි.
ඔහු මෙලෙස පැවැසුවේ ඊයේ (09) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම කරුණ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත (RTI) යටතේ අදාළ ආයතනවලින් තොරතුරු විමසීමට කටයුතු කරන බවත්, වරායේ පැටවීම් වාර්තා සහ ගොඩබෑමේ වාර්තා වහාම රටට හෙළි කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව එකවර ගොඩබෑම සිදු වන්නේ එක් නෞකාවකට පමණක් වන අතර, නෞකා දෙකක් එකම මොහොතේ බෑවුම් කටයුතු සිදු කරන්නේ නම්, සාම්පල් ලබාගැනීමේදී චේතනාන්විත වංචාවක් සිදු කිරීමට උත්සාහයක්ද යන්න පිළිබඳව ගැඹුරු සැකයක් මතු වන බව ද සංජීව ධම්මික පැවැසීය.
ගල් අඟුරු කලවම් වුවහොත් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල ලබාගත නොහැකි වන අතර, එය සත්‍යය වසන් කිරීමේ උත්සාහයක් විය හැකි බවත් ඔහු පැවැසුවේය.
ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පෙබරවාරි මස 6 වැනි දින, දෙවැනි ජනන යන්ත්‍රයේ මෙගාවොට් පැය 738ක් තුන්වන ජනන යන්ත්‍රයේ මෙගාවොට් පැය 435ක් බාල ගල් අඟුරු හේතුවෙන් ජනනයේ සිදුවූ ඌන කාර්ය සාධනය නිසා එදින පමණක් රුපියල් ලක්ෂ 358ක පාඩුවක් සිදුව ඇති බවත්, ඒ සඳහා සෘජු වගකීම රජය භාර ගත යුතු බවත් සංජීව ධම්මික පෙන්වා දුන්නේය.
මෙය ජනතා මුදල් විනාශ කරන ජාවාරම්කාර ක්‍රියාවලියක් බවත්, මෙම සියලු කරුණු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට (CIABOC) කරුණු සහිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
📌 සබැඳි පුවත් :
Saru News










