ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසයි.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරලාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ ඒ සඳහා සහයෝගය දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන අතර 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක කර නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X පණිවිඩය මගින් සඳහන් කර තිබේ.
මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගය සඳහා සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී තිබුණි.
පාකිස්තාන රජය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ නියමිත කාලසටහනට අනුව පෙබරවාරි මස 15වන දින ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගය සඳහා පිටියට පිවිසෙන ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම්දී ඇති බවය.
ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහභාගී වන සියලු ජාතීන්ට මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහාය වීමට මෙම තීරණය ගෙන ඇති බව පාකිස්තානු රජය පෙන්වාදී තිබුණි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා විසින් නිල වශයෙන් ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත.
ලබන 15 වන දින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය වර්ජනය කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් මීට පෙර දැනුම්දී තිබුණි.
එවන් පසුබිමක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (09) පස්වරුවේ පවත්වා තිබුණි.
එහිදී ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහභාගී කරවන ලෙස ජනාධිපතිවරයා, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් පීඩා විඳි සමයේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට ලබාදුන් සහයෝගය මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව සිහිපත් කර තිබේ.
දෙරට අතර පවතින සබඳතාවය අනෙකුත් සියලු කරුණුවලට වඩා ඉහළින් පවතින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.
එහිදී ජනාධිපතිවරයාගේ සුහදශීලී ඉල්ලීම පිළිගන්නා බවත් ශ්‍රී ලංකාවෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළකරන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
Thank you Prime Minister @CMShehbaz for ensuring the game we all love goes on. Delighted that the eagerly awaited India and Pakistan match at the ongoing T20 Cricket World Cup in Colombo will proceed as planned.
As co-host of the tournament, Sri Lanka thanks the @ICC and all…— Anura Kumara Dissanayake (@anuradisanayake) February 9, 2026
Saru News










