පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙකු මියගොස් තිබේ.
අද (10) අලුයම් කාලයේ කයිට්ස් පොලිස් වසමේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා මෙලෙස පොලිසිය විසින් සංඥා කර ඇති අතර එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබේ.
එම අවස්ථාවේ මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සඳහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ගමන් කරමින් තිබූ කයිට්ස් ස්ථානාධිපතිගේ ජීප් රථයට මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව ජීප් රථය එම වෑන් රථය නවත්වා ගැනීම සඳහා උත්සාහ කළද එය තවදුරටත් නොනවත්වා පලා යාම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා රථය නවතා ගැනීමට උත්සාහ කර ඇත.
ඒ අවස්ථාවේදීත් නොනවත්වා පලා ගිය වෑන් රථය නවතා ගැනීම සඳහා පොලිසිය වෑන් රථයට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් වෑන් රථයේ රියදුරු වෙඩිවැදී තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17ක් වූ වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෑන් රථය පිටුපස ආසන ගළවා ඉවත් කර තිබී ඇති අතර වෑන් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට ඇති බවත් ඔවුන්ව කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කයිට්ස් පොලිසිය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකරනු ලබයි.
Saru News










