අඩු වියදමින් අලුත් ෆැශන් කරන හැටි දැනගමු

0
15


හැමදේම මිල අධික වන මේ කාලයේ නවීන විලාසිතා එක්ක හැඩවෙන එක තරමක අභියෝගාත්මක දෙයක්. නමුත් ඔබට පුංචි පුංචි ක්‍රම මගින් වෙනස් විදියේ විලාසිතා වල නිරත වෙන්න හැකියාව ඕනෑ තරම් තියෙනවා ඒ වගේ පුංචි ටිප්ස් ටිකක් එක්ක අඩු වියදමින් අලුත් fashion කරන හැටි දැනගන්න ඔබ කැමතිද ? 

ඔබේ අල්මාරියට ඕනෑම වර්ණයක් සහ ඕනෑම ආභරණයක් සමග ගැලපිය හැකි වර්ණ වල ඇඳුම් එකතු කරගන්න. උදාහරණයක් ලෙස කළු සහ සුදු වර්ණ වලින් ඩෙනිම් , ජැකට් , අත් රහිත බ්ලව්ස් වැනි ඇඳුම් ඔබ සතුව තියෙනවා නම් ඔබට ඒවා ඕනෑම වර්ණයක් සමග ගලපාගෙන මාරුවෙන් මාරුවට අඳින්නට පුළුවන්.

ඔබට ඕනෑම වර්ණයක් සහ ඕනෑම ආභරණයක් සමග ගැලපිය හැකි වර්ණ වල ඇඳුම් තබා ගන්නවා වගේම ඕනෑම අවස්ථාවකට , ඕනෑම ඇඳුමක් සමග ගැලපිය හැකි අත් බෑග් සහ පාවහන් එකතුවකුත් තබා ගන්න එකේ වරදක් නැහැ. 

ඉතාම සාමාන්‍ය තත්ත්වයේ ඇඳුමක් , තනි වර්ණ වලින් යුතු ඇඳුමක් ඉතා හොඳ පෙනුමකට ගෙන එන්න නම් ඔබට ඒවා සඳහා විවිධ ආභරණ, මාල , මුදු , කරාබු භාවිතා කරන්න පුළුවන්. සමහර ඇඳුම් වලට හොඳ පෙනුමක් එකතු කරන්න තරමක පෙනුම ඇති එක මාලයක් උනත් ප්‍රමාණවත්. 

ඔබ සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙක් නම් වරක් දෙවරක් භාවිත කළ ඇඳුම් ඉතාම අඩු මිල ගණන් යටතේ විකිණීමට තිබෙන ෆේස්බුක් සමූහයන් තිබෙනවා ඕනෑ තරම් දැක ඇති. මේවායෙන් තෝරා බේරා ගෙන හොඳ තත්ත්වයේ තිබෙන ඇඳුම් ඔබට ඉතා අඩු මිලට ලබා ගන්නට පුළුවන්. 

ඔබ සතුව ඇති භාවිතයෙන් ඉවත් කළ සහ වැඩිපුර භාවිත නොකරන ඇඳුම් ඇසුරෙන් අලුත් ඇඳුම් නිර්මාණය කරගන්න ඔබට හැකියාව තියෙනවා.ඔබ නිර්මාණශීලී වෙනවා නම් මෙය ඉතා අපූරු වැඩක්. සාමාන්‍ය ටී ෂර්ට් එකකින් croptop එකක් සකස් කර ගැනීම , ඩෙනිම් ජැකට් වලට විවිධ පින්තාරු එකතු කිරීම සහ එම්බ්‍රොයිඩර් විලාසිතා එකතු කිරීම , ඩෙනිම් වලින් විවිධ විලාසිතා කිරීම වැනි බොහෝ දේවල් ඔබට කරන්නට පුළුවන්.

විශේෂ අවස්ථා සඳහා නිම කරන ලද ඉතා මිල අධික ඇඳුම් කුලියට දෙන ස්ථාන මේ වන විට අපේ රටේ ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා ඔබට විවාහ මංගල්‍ය, උපන්දින සාද හෝ වෙනත් උත්සව වලට සහභාගි වීමට , අධික වියදමක් දරමින් ඇඳුම් සකස් කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ.  ගවුම් , සාරි ඇතුළු ඕනෑම වර්ගයේ විලාසිතාවක ඇඳුම් වර්ග ඔබට ඉතා අඩු කුලී මුදලක් යටතේ ලබා ගන්න හැකියාව තියෙනවා.

පරණ ඇඳුම් වලින් අලුත් විලාසිතා සකස් කර ගැනීම , ඉතා අඩු මුදලකට ඇඳුම් මිලදි ගත හැකි ස්ථාන , දැනටමත් ඔබ සතුව ඇති ඇඳුම් වලින් විවිධ විලාසිතා කරන ආකාරය ආදී බොහෝ අදහස් ඔබට Fashion bloggers සහ influencers ලා follow කරනවා නම් දැනගන්නට පුළුවන්. ෆේස්බුක්, යූටියුබ් සහ ටික් ටොක් වැනි ජනප්‍රිය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඔබට පහසුවෙන්ම ඔවුන්ගේ  යාවත්කාලීන කිරීම් දැනගන්නට හැකියාව තියෙනවා.

මේ ටිප්ස් භාවිතා කරනවා නම් හැමදාම එකම විදියේ ෆැෂන් කරනවා වෙනුවට අඩු මුදලකින් හෝ කිසිම වියදමකින් තොරව අලුත් ෆැශන් කරන්න ඔබට පුළුවන්. අවශ්‍ය වන්නේ ඔබේ නුවණැති බව සහ නිර්මාණශීලී බව පමණයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here