මීදුම් සේලය මැදින් දුටු මහඑළියේ සුන්දරත්වය…

0
3

අනෙකුත් ජාතික උද්‍යාන පරයා මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය ගැන වැඩි වැඩියෙන් කතාකරනු පෙනේ. ඒ එක අතකින් වසර 12 කට පමණ පසු පැමිණි “නෙලු වසන්තය” නිසා ය. එසේත් නැතිනම් ‘නෙලු’ බලන්නට ගිය කට්ටියගෙන් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට සිදුවන අකටයුතුකම් නිසා ය. ‘නෙලු වසන්තය – Mass flowering’ නිසා සති අන්තයේ තරමක් වැඩි වාහන ප්‍රමාණයක් සහ වැඩි සංචාරක පිරිසක් මෙහි ගැවසෙන බව සැබෑ ය. ඒ එන පිරිසගෙන් ඉතා අතලොස්සක් උද්‍යාන නීති රීති නොතකා නොහොබිනා විදිහට හැසිරෙන බවද සැබෑ ය.

නමුත් පරිසරයේ, සොබාදහමේ සුන්දරත්වය විඳින්නට ජනතාවට අවහිර කරන්නට නොහැකි ය. එනිසාම උද්‍යාන නිලධාරීන් ද, වැඩිමනත් පොලිස් නිලධාරීන් ද, මේ දිනවල හෝර්ටන්තැන්නේ තදබදය, අනීතික ක්‍රියා මඩින්නට ගන්නේ මහත් වෙහෙසකි. කොටින්ම මෙම නෙලු වසන්තය නිසා උද්‍යානයට සංචාරකයින්ගෙන් ආදායමක් ලැබෙන බව සැබෑ නමුදු, වැරදි කරන්නන්ගෙන් ස්ථානීය දඩ වශයෙන් ඔක්තෝබර් මාසයේ පළමු දවස් 10 ට වැරදි කළ 19 දෙනකුගෙන් රුපියල් 68,000 ක දඩ මුදල් අයකරගත් බව උද්‍යාන භාර නිලධාරී සිසිර රත්නායක මහතා පවසයි. පෝය නිවාඩු සතියේ ආදායම රුපියල් ලක්ෂ 46 ක් වූ බවද උද්‍යාන පාලකවරයා පවසයි.

ඒ කෙසේ හෝ මෙසේ ප්‍රකට වූ හෝර්ටන්තැන්නේ අද්විතීයත්වය සොයා අප ඉකුත්දා එම ජාතික උද්‍යානයේ දින කිහිපයක චාරිකාවක නිරත වූයේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය සහ ආරාධනය මත ය. ඊට අදාළ සංචාරකමය සටහනක් ඉකුත්දා ‘සංචාරේ’ තීරයේ පළ කළෙමු. ‘නෙලු ශාක’ සහ ‘නෙලු මල් වසන්තය’ පිළිබඳව පර්යේෂණ කටයුතුවල නිරත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය රේණුකා නිලන්ති රාජපක්ෂ මහත්මියගේ විශේෂ පර්යේෂණ අධ්‍යයනයකට අදාළව සහ දැනුවත් කිරීමේ දේශන කිහිපයකට අදාළව, එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ මාධ්‍ය අංශය මගින් සැලසුම් කරන ලද වැඩසටහනක් සඳහා මෙසේ ‘දිවයින’ පාරිසරික අංශයේ අපට ද ඇය සමග සහභාගිවීමට ලැබීම අප ලැබූ මහත් භාග්‍යයකි.

වැඩසටහන පරිදි පසුගිය 09 වැනිදා අපගේ ගමන ආරම්භ කරන ලද්දේ බත්තරමුල්ල – ජයන්තිපුර පිහිටි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙනි. උදෑසනම ගමන් ආරම්භ කළ අපි, අවිස්සාවේල්ල-කිතුල්ගල-ගිනිගත්හේන-හැටන්-තලවාකැලේ-නානුඔය-අඹේවෙල-පට්ටිපොළ ඔස්සේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය වෙත ළඟාවන විට හාත්පස අඳුර වෙළාගෙන තිබිණි. ඒ කාලයටත් වඩා මේ දිනවල එම ප්‍රදේශයට බලපාන දේශගුණික සාධක නිසා ය. එනම්, අඹේවෙල-පට්ටිපොළින් එහාට පැවතියේ තරමක් වැසි වැටෙන හීතල කාලගුණයකි. කන්දේඇළ ජලාශය පසුකරමින් ඉදිරියට ඇදුණු අපිට ඉඳහිට හෝර්ටන්තැන්න සිට පැමිණෙන රථ වාහනවලින් යම් බාධාවක් සිදුවුණ ද, අපි පට්ටිපොළ පැත්තෙන් උද්‍යාන පිවිසුමට ළඟා වන විට සියලුම රථවාහන පාහේ උද්‍යානයෙන් පිටව ගොස් තිබිණි. ඒ උද්‍යානයෙන් පිටවීමේ කාලය ඉකුත්ව තිබුණු නිසා ය.

අප ‘හරිත කණ්ඩායම’ සහ ‘වන ජීවී සංරක්ෂණ’ කණ්ඩායම ගමන් ගත් වාහන දෙක උද්‍යානයට පැමිණ එහි ඇති ‘නිලධාරීන්ගේ නිවස්නයට’ ගොඩවදින වේලාව වන විට හාත්පස අඳුර රජවී තිබිණි. කොටින්ම අපි එහි පැමිණියේ තරමක් ඝන මීදුම් බාධකයක් මැදිනි. එනමුත් පට්ටිපොළ උද්‍යාන පිවිසුමේ පටන් නිලධාරී නිවස්නය දක්වා අප පැමිණි ගමනේදී පවා අපගේ රථයේ විදුලි පහන් ආලෝකයෙන් ද ‘නෙලු මලේ අසිරිය’ විඳගන්නට අපට හැකි විය. ඒ මාර්ගය දෙපසම ‘නෙලු මලින්’ සැරසී තිබුණු හෙයිනි.

කෙමෙන් රාත්‍රිය එළැඹුණේ හීතලෙන් අපව කීරි ගසමිනි. තම්බාගත් යමක් ආහාරයට ගත් අපි, අනතුරුව ඒ හීතල රාත්‍රියේ නිලධාරි නිවස්නය ඉදිරියට දිස්වූ රාත්‍රී සුන්දරත්වය අත්වින්දේ කාලයත් සමග ඉතා හොඳින් මෝදු වූ පුර සඳු ලබා දුන් ආලෝකයේ උදව්වෙනි. හීතල නමුත්, සෞන්දර්යයෙන් අනූන එම රාත්‍රිය ඉතා හොඳින් ආශ්වාදනය කරන්නට අපට හැකි වූ නිසා, අප නින්දට යනවිටත් මධ්‍යම රාත්‍රිය ඉකුත්වී තිබිණි.

පසුදා පහන් වූයේ වැඩ රාජකාරි රැසක් කරපින්නාගෙන ය. අපටත් වඩා ආචාර්ය නිලන්තිට තිබුණු වැඩ කොටස ඔස්සේ අපගේ වැඩසටහන ද පෙළ ගස්වාගත යුතුවූ බැවින්, උදේ ආහාරයෙන් පසු අප කෙළින්ම ගියේ ඔහිය දෙසින් උද්‍යානයට ඇතුළුවී පැමිණෙන පරිසරවේදීන් පිරිසක් හා සම්බන්ධ වෙමින් හෝර්ටන්තැන්නේ ’නෙලු අසිරිය හා නෙලු විවිධත්වය’ ගැන කතා කරන්නට ය. අවම තරමින් හෝරා දෙක තුනක්වත් ගත් මෙම වැඩසටහන පුරාවට ආචාර්ය නිලන්ති රාජපක්ෂ තම දැනුම අන් අය හා බෙදා දෙමින් අපූර්ව ඉදිරිපත් කිරීමක් කළා ය. ඔහිය පිවිසුමට ආසන්නයේ රතු-දම් පහන් යායට පිපුණු Strobilanthes pulcherrima නෙලු යායක් මැද සිට කරන ලද එම ඉදිරිපත් කිරීම ‘දිවයින-හරිත’ කණ්ඩායමට ද මහත් ප්‍රයෝජනවත් එකක් විය.

වන ජීවී සංරක්ෂණ සහ පර්යේෂණ කණ්ඩායම

එසේම, Strobilanthes calycina” Strobilanthes hookeri” Strobilanthes sexennis” Strobilanthes viscosa” Strobilanthes anceps යන අනිකුත් නෙලු ප්‍රභේද දැක බලාගනිමින් හෝර්ටන්තැන්නේ ‘නෙලු වසන්තය’ අත්විඳි අපි, අනතුරුව ගමන් ගත්තේ තොටුපොළ ‘කන්ද වන මං පෙත ඔස්සේ’ ශ්‍රී ලංකාවේ තෙවැනි උසම කඳු මුදුණ තරණය කිරීම සහ එම මංපෙතේ නෙලු විවිධත්වය නිරීක්ෂණය සඳහා ය. ඒ වන විටත් පරිසරයට දරා ගත නොහැකි සංචාරක පිරිසක් තොටුපොළ වන මං පෙත තරණය කරමින් ඔබ-මොබ සංචරණය කරමින් සිටි අතර, තොටුපළ මං පෙත ආරම්භ වන ස්ථානයේ අධික වාහන තදබදයක් ද විය. එම වාහන තදබදය සමනය කර අපගේ ද වාහන පසෙකට ගාල්කරගත් අපි, තොටුපළ මං පෙත දිගේ කඳු තරණය කළේ සිය ගණනක් දේශීය සහ විදේශීය ජනයා මග හරිමිනි. සැබැවින්ම ඒ යන අතර මග තුරු වදුලෙන් පිරි මං පෙත පුරා නෙක වර්ණ සහ නෙක වර්ග නෙලු මල් විකසිතව පැවති අතර, බිඟුන් ඒ මලින් මල යමින් රොන් උරා බොමින් සිටියහ.

තුරු වදුල නිමවූ පසු පැමිණෙන්නේ එළිමහන් කඳු ප්‍රදේශයකට වුවද, එම පඳුරු ස්ථරයේ පවා පවතින්නේ නෙක වර්ණ, නෙක වර්ග නෙලු වසන්තයක්ම ය. මෙම නෙලු වසන්තයෙන් බොහෝ පිරිස් අමන්දානන්දයට පත්වනු අප දුටුවෙමු. ඒ අතරම මල් කිනිති කඩාගෙන ගෙන යන්නට උත්සාහ දරන ලද යුවතියන් ට අවවාද කර මුදා හරින්නටද වන ජීවී නිලධාරීහු කටයුතු කළහ. එසේම, නියමිත මං පෙතෙන් බැහැරව යතුරුපැදි ධාවනය කිරීම, වන සතුන්ට (ගෝනුන්ට) ආහාර ලබාදීම වැනි වරදකරුවන් නීතියේ රැහැනට ගන්නට ද නිලධාරීහු ක්‍රියා කළහ.

එදින දිනය අප අවසන් කරන ලද්දේ තොටුපළ කන්දේ සිටියදීම කාලගුණය අපට හරස්වීම නිසා ය. දැනටමත් අන්තර් මෝසම් සමය එළැඹ ඇති බැවින් දහවල් 11-12 වන විට වැසි ඇද හැලෙන බැවින් හෝර්ටන්තැන්නේ සවස් යාමය ජනයාට එතරම් යහපත් නැත. නොහොත් පරිසරය යථාවත් වන්නට මේ වර්ෂා රටාව යහපත් ය.

මේ අනුව එදින වැඩකොටස හමාර කළ අපි වර්ෂාව මධ්‍යයේම ආපසු නවාතැනට පැමිණ දහවල් ආහාරයෙන් පසු හවස් යාමය ඔහිය පාරේ වාර්තා වන තවත් දුලබ නෙලු විශේෂයක් වන Strobilanthes helicoides සොයාගෙන පල්ලම් බැස්සේ හීතල කපාගෙන ය. ඔහිය කඩ මණ්ඩියට මඳක් ආසන්නයේ වන සංරක්ෂණ භූමියක පිහිටි මෙම නෙලු විශේෂය දුලබ සහ තර්ජනයට ලක්වූ විශේෂයක් බව අපට කීවේ ආචාර්ය නිලන්ති රාජපක්ෂ විසිනි. අනතුරුව ඔහිය දුම්රිය ස්ථානය දක්වා ගමන් ගත් අපගේ කණ්ඩායම් ඒ එන අතර තුර වන සතුන් නිරීක්ෂණය කරමින් පැමිණ එදින රාත්‍රී නින්දට ගියේ පසුදා හෝර්ටන්තැන්නේ තවත් දවසක අරුණාලෝකය අපේක්ෂාවෙනි.

සැරිසර – ජගත් කණහැරආරච්චි / රංග විදානේ
ඡායාරූප –
බුද්ධික ඩී. රණසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here