යළි වළට නොවැටී ආර්ථික අර්බුදයෙන් ගොඩ එන හැටි

0
4

පෞද්ගලික අංශය දිරිගැන්විය යුතුයි

ආර්ථික වර්ධනය වේගවත් කරගත යුතුයි

නිෂ්පාදන අංශය ශක්තිමත් කරගත යුතුයි

යළි ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ සැලකිය යුතු අවධානමකට රට මුහුණ දී සිටී. මේ ගැන ආර්ථික විද්වතුන් විසින් දැනටමත් අනතුරු අඟවා ඇත. මේ පිළිබඳව මේ වන විට ආර්ථික හා මූල්‍ය අංශවල බලවත් අවධානයට ලක්ව ඇත. එසේම මේ පිළිබඳ මාධ්‍ය මගින් කතා කිරීමට පටන් ගැනීම නිසා අප මුහුණ දී සිටින මේ අවදානම ගැන දැනටමත් අමාරුවෙන් ජීවත්වෙන සාමාන්‍ය මහජනයා අතර ද කතාබහක් ඇතිව තිබේ. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සහාය ලබමින් මේ වන විට ආර්ථිකයේ සැලකිය යුතු ස්ථාවරත්වයක් ඇතිව තිබුණත් අප හමුවේ අවදානම් සහ අහියෝග රැසක් ද ඇත. මේ නිසා ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගත යුතුව තිබේ. එහෙත් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන වත්මන් ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්තියේ සඳහන් අපේක්ෂා ජය ගැනීමට නම් 2022 වසරේ දී ආර්ථිකය වැටුණු වළෙන් ගොඩ ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා දැනට ඇති ආර්ථික ස්ථාවරත්වය තවත් තහවුරු කරගනිමින් වේගවත් ආර්ථික වර්ධන මාවතකට රට අවතීර්ණ කරගත යුතු වේ. ඒ සඳහා වත්මන් රජය තවමත් යොමුව ඇති බවක් නම් පෙනෙන්නට ද නැත. මේ නිසා අප ගමන් කරමින් සිටින්නේ ආර්ථික අර්බුදයකින් තවත් ආර්ථික අර්බුදයක් වෙත ද? එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම අපට වළක්වා ගත නොහැකි ද ?

මේ පසුබිම තුළ පසුගිය සතියේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සිය මුල් පුවතින් වාර්තා කර තිබුණේ ‘ආර්ථික අර්බුදයක අවදානමක්’ යන්නයි. මේ පුවතට පදනම් වී තිබුණේ කොළඹ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සහ ලන්ඩනයේ ODl Global යන පර්යේෂණ ආයතන දෙකෙහි අනුග්‍රහය යටතේ ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳව සකස් කර ප්‍රකාශයට පත් කර තිබූ නවතම වාර්තාවකි. ‘ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030’ මැයෙන් නිකුත් කර තිබූ එම වාර්තාවේ සඳහන් වන්නේ සිරිමල් අබේරත්න, චන්ද්‍රනාත් අමරසේකර, රවීන් බස්නායක, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ඉවට් ප්‍රනාන්දු, ඩර්ක් විලෙම් ටී. වෙල්ඩේ, ඇසල වීරකෝන්, ෂියා වික්‍රමසිංහ සහ ගනේෂන් විග්නරාජා යන ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් එම වාර්තාව පිළියෙල කර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින් අපේ වැටුණු ආර්ථිකය තවමත් යථාවත් කරගමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරතව සිටින අතරේ නැවතත් ආර්ථික අර්බුදයක් ඇති වීමේ සැලකිය යුතු අවදානමක් ගැන අසන්නට ලැබීම නම් මහජනයාට එතරම් සුබ ආරංචියක් නොවේ. මේ ගැන මාධ්‍ය හරහා වාර්තා වීමත් සමග ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ කෙසේ වෙතත් ඔවුන්ට තවත් අමාරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති ද යන ප්‍රශ්නය මතුව තිබේ. ආර්ථික අගාදයේ තවදුරටත් ගිලෙනවා ද, ඉන් ගොඩ එනවා ද ? මේ කියන ආර්ථික අර්බුදයෙන් අපට ගැලවීමට මගක් නැද්ද? අප නම් සිතන්නේ ඉන් ගැලවීමට මගක් ඇති බවයි. එසේ නම් ඒ ගැලවෙන මග කුමක් ද ? මෙහිදී මූලික වශයෙන් කිව යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින් වැටුණු ආර්ථිකය යථාවත් කර ගැනීමට මෙතෙක් පැමිණි ගමන්මගේ, එනම් එම ප්‍රතිපත්ති දිශානතියේ තවදුරටත් ඉදිරියට ගමන් කළ යුතු බවයි. එහි ප්‍රශ්නයක් නැත. එහෙත් ආර්ථික අර්බුදය සමනය කරගත් පමණින් අපේ ආර්ථිකය දියුණු තත්ත්වයට පත් වන්නේ නැත. එනම් පොහොසත් රටක් ඇතිවන්නේ නැත. එසේම ජනයාට ලස්සන ජීවිතයක් ලැබෙන්නේ ද නැත.

එක් ආර්ථික අර්බුදයක් සමනය කර ගනිමින්, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරතව සිටින අතරේ නැවතත් අර්බුදයකට අපේ ආර්ථිකය පත් නොවන පරිදි ආර්ථිකය කළමනාකරණය කිරීමේ වගකීම ඇත්තේ ප්‍රධාන වශයෙන් ඇත්තේ රජයටය. එසේම ඒ සඳහා මහ බැංකුවට ද වගකීමක් ඇත. රජයේ නිල ආර්ථික උපදේශකවරයා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. ඒ නිසා රටේ ආර්ථිකය තවත් අර්බුදයක් කරා නොයන පරිදි මෙහෙයවීමට මහ බැංකුව පැත්තෙන් දිය යුතු උපදෙස් හා මඟපෙන්වීම ද කළ යුතුව තිබේ. අප මේ කියන වාර්තාව සැකසූ කණ්ඩායමේ හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, වත්මන් මහ බැංකු සහකාර අධිපතිවරයකු වන චන්ද්‍රනාත් අමරසේකර මෙන්ම හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයකු වන ඉවට් ප්‍රනාන්දු යන අය ද නියෝජනය කරයි. එසේ නම් මේ වාර්තාවේ කියන කරුණු අපට ලෙහෙසියෙන් බැහැර කළ හැකි නොවේ. එහෙත් මේ අප කියන්නට යන්නේ මේ ආණ්ඩුව යන ආර්ථික ගමන් මාර්ගය වැරදිය කීමට හෝ මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා අනිවාර්යෙන්ම ආර්ථිකය යළි අර්බුදයට පත්වන බව කීමට නොවේ. ඒ නිසා මූලික වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින් අපේ වැටුණු ආර්ථිකය යථාවත් කර ගැනීමට යන ගමන එලෙසම යන අතරම රටේ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට ක්‍රියා කිරීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් කළ යුතුව තිබේ. අයිඑම්එෆ් එක පැමිණ සිටින්නේ අපේ විනිමය අර්බුදය සමනය කිරීමටය. එම වැඩසටහනේ අරමුණු පමණක් ඉටුකර ගැනීමෙන් අපේ ආර්ථිකය දියුණු කරගත (පොහොසත් රටක් ඇතිකරගත) නොහැකිය. ඒ නිසා අයිඑම්එෆ් වැඩසටහන අවසාන වීමෙන් පසුව අපේ ආර්ථිකය තිබෙණු ඇත්තේ කවර තැනකද? ඒ නිසා ඒ වන තෙක් නිකන් බලන් සිටීමෙන් අප ප්‍රමාද වූවා වැඩිවිය හැකිය. ඒ නිසා ආණ්ඩුව වහාම මේ සම්බන්ධයෙන් සියලු දෙනාගේ සහාය හා දායකත්වය ඇතිව ක්‍රියාත්මක විය යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් ද ඉහත සඳහන් කළ ‘ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම 2025-2030’ මැයෙන් නිකුත් කර තිබූ වාර්තාවේ පණිවිඩයක් ලබා දී තිබෙන්නේ මෙසේය.

‘තවත් වේදනාකාරී ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සහ ඉහළ යන දරිද්‍රතාව වළක්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. වෙළෙඳ යුද්ධයක සහ අඳුරු ගෝලීය ආර්ථික තත්ත්වයක් පිළිබඳ අවදානම වැඩිවන වාතාවරණයකදී ණය පීඩනයෙන් පෙළෙන ශ්‍රී ලංකා ආර්ථිකයට එමඟින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. හොඳම තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ආර්ථික වර්ධනය 3% ක් විය හැකි අතර ප්‍රතිසංස්කරණ සිදුනොකරන්නේ නම් එයට වඩා පහළ අගයකට ඇද වැටිය හැක. එමෙන්ම දැනටමත් ඉහළ ගොස් ඇති දරිද්‍රතා මට්ටම් තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇත. උපායමාර්ගිකව වැදගත් තැනක පිහිටා ඇති ශ්‍රී ලංකාවට එහි සංකීර්ණ භූ දේශපාලනික තත්ත්වයක් පවතින මෙවන් අවස්ථාවකදී, ආර්ථිකය පරිවර්තනය කිරීමට, පවතින නිෂ්පාදන හැකියාවන් මත ගොඩනැඟීමට සහ නව හැකියාවන් නිර්මාණය කිරීමට විශාල අවස්ථාවන් තිබේ.

නිදසුනක් වශයෙන්, සංචාරක ව්‍යාපාරය දියුණුවෙමින් පවතින අතර එය තවදුරටත් පුළුල් කළ හැකිය. ඩිජිටල් ආර්ථිකය බොහෝ දුරක් වර්ධනය කිරීමේ විභවය ඇත. කලාපීය බලවතුන් සමග සැපයුම් දාමයන් හරහා එක්වී එම වෙළෙඳපොළවල් හි නිකේතන වෙළෙඳපොළ අවස්ථාවන් අත්පත්කර ගැනීම සහ අගය එකතු කිරීම තවත් එකකි. අවසාන වශයෙන්, කෘෂිකර්මාන්තයේ ඉහළ ආහාර සුරක්ෂිතතාවයකට සහාය විය හැකි අවස්ථා ද පවතී.

2025 දී ප්‍රමුඛතාවය වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ සහායක ප්‍රමුඛතා අංශ මත පදනම් වූ ආර්ථික වර්ධන සැලැස්මක් ඇතිකර ගැනීමයි. එවැනි සැලැස්මක් 2030 දක්වා අවම වශයෙන් වසර පහක්වත් අඛණ්ඩව පවත්වා ගෙන යායුතු අතර ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතුය.’

එසේ නම් මේ වාර්තාව ද මූලික වශයෙන් කියන්නේ ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. එය සියලු දෙනා පොදුවේ පිළිගන්නා කාරණයකි. ආණ්ඩුව ද අයිඑම්එෆ් වැඩසටහනට අනුගතව ඉදිරියට යන නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකළ යුතු බවට තර්කයක් නැත. එසේ නැත්නම් ලෝක ආර්ථික පරිසරයේ බලපෑම් හමුවේ අපගේ ණය පීඩනය තවත් උග්‍ර විය හැකිය.

හොඳම තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ආර්ථික වර්ධනය විය හැක්කේ සියයට 3 කින් පමණක් බව ද මෙහි සඳහන් වේ. එහෙත් රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජය ගැනීමට මේ අඩු සහ මන්දගාමී ආර්ථික වර්ධනය කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එසේම අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුනොකරන්නේ නම් ආර්ථික වර්ධනය මේ කියන සියයට 3 ටත් වඩා පහළ අගයකට ඇද වැටිය හැක. එය දැනට පවතින සියයට 25 ක් පමණ වන ඉහළ මට්ටමක තිබෙන දුප්පත්කම තවත් වර්ධනය වීමට හේතුවක් වේ. එනම් එහි අදහස දැනට දුප්පත්කමේ කටේ සිටින අයගෙන් පිරිසක් ඉදිරි කාලයේ දී අලුතින් දුප්පතුන්ගේ ගොඩට ඇදවැටිය හැකි බවයි. ජනගහනයෙන් සියයට 10 ක පමණ පිරිසක් මෙලෙස දුප්පත්කමේ කටේ සිටින බව ලෝක බැංකුව පසුගියදා ප්‍රකාශයට පත් කළ නවතම වර්තාවක සඳහන් විය. ඒ නිසා දුප්පත් සහ දුප්පත්කමේ කටේ සිටින ජනතාවගේ එකතුව මුළු ජාගහනයෙන් සියයට 35 කට පමණ ආසන්න අගයකි. මේ අනුව ඇත්ත වශයෙන්ම සමස්ත ජනතාවගෙන් සෑම තුන් දෙනෙක්ගෙන් එක අයෙක්ම දුප්පත් හෝ දුප්පත් කටේ සිටින බව කිව හැකිය. මෙය බරපතළ තත්ත්වයක් වන අතර එවැනි තත්ත්වයක් තුළ අපට පොහොසත් රටක් හෝ ලස්සන ජීවිතයක් ගැන කතා කළ හැකි නොවේ.

මේ නිසාම ඉහත සඳහන් කළ වාර්තාව (ස්වාධීන ආර්ථික වර්ධන අධ්‍යයනය ) නව ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් තුළ උනන්දුවක් ඇතිකිරීම අරමුණු කරගෙන ඇත. මේ සඳහා නායකත්වය ගත යුතු වන්නේ රජයයි. එහෙත් රජයට අප මුහුණ දී සිටින අවදානම පිළිබඳව නිසි අදහසක් තවමත් ඇතිව තිබේ ද යන්න නම් සැක සහිතය. ඒ නිසා දැන් රටේ ආර්ථිකය තිබෙන තැන සහ ඉදිරි අවදානම් ගැන නිසි තක්සේරුවක් ඇති කරගෙන ඊට මුහුණ දීමේ සූදානම ඉතා ඉක්මණින් ඇතිකරගත යුතුව තිබේ. රජයට අමතරව ප්‍රධාන වශයෙන් පෞද්ගලික අංශය තිබේ. රජයට රටේ සියලු ආර්ථික කටයුතු කළ හැකි නොවේ. එසේම රජයට ව්‍යාපාර කළ නොහැකි බවට ද මතයක් ඇත. මේ නිසා රජය විසින් පෞද්ගලික අංශය ආර්ථික කටයුතු වෙනුවෙන් දිරි ගැන්විය යුතු වේ. රජය විසින් රටේ පෞද්ගලික අංශයට ව්‍යාපාර කිරීමට පහසු වාතාවරණයක් ඇති කළ යුතුව ඇත. රජය සහ පෞද්ගලික අංශය මෙන්ම රටේ පුරවැසියන්, ව්‍යාපාර අංශ සහ සිවිල් සමාජය තුළ ද මේ අවශ්‍යතාව වෙනුවෙන් එම පාර්ශ්වයන්ගේ සහාය හා දායකත්වය ලබාගත යුතුවේ. සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ සහායක ප්‍රමුඛතා අංශ මත පදනම් වූ ආර්ථික වර්ධන සැලැස්මක් ඇතිකර ගැනීම සඳහා මේ වාර්තාව පෙන්වා දෙන ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර හයක් ඇත. ඒවා මෙසේයි.

  1. සාර්ව ආර්ථික ස්ථාවරත්වය දිගටම පවත්වාගෙන යෑම සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම
  2. ගෝලීය සැපයුම් දාම, අපනයන සහ විදේශ ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම
  3. නිෂ්පාදන සාධක වෙළෙඳපොළ වැඩිදියුණු කිරීම
  4. ආංශික සහ වෙළෙඳපොළ – විශේෂිත ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  5. දරිද්‍රතාව අඩු කිරීම සඳහා පවතින ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම
  6. ආර්ථික වර්ධන ප්‍රතිපත්ති වටා දේශපාලන සම්මුතිය සහ රාජ්‍ය ධාරිතාව ගොඩනැඟීම

මේ කියන ආකාරයටම නොවුණත්, ආණ්ඩුවට තමන්ට අනන්‍ය ආකාරයට මේ සැලැස්ම සකස් කරගත හැකිය. මෙහි සඳහන් වන්නේ ඒ සඳහා වැදගත් වන ප්‍රධාන ප්‍රතිපත්ති ක්ෂේත්‍ර හයක් ගැනය. මේ ආණ්ඩුව පසුගිය ජාතික මැතිවරණවල දී රට වැසියාට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබේ. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නම් වූ එම ජනතා අනුමැතිය ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද අනුගතව ආර්ථික වර්ධන සැලැස්මක් මේ ආණ්ඩුවට ඇතිකරගත හැකිය. මෙසේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය වර්ධනය කරගනිමින්, ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීම මේ අවදානමට සාර්ථකව මුහුණ දීමේ දී අත්‍යවශ්‍ය ප්‍රමුඛම කාරණය බව සඳහන් කළ යුතුමය. එය දැනට පවතින ඉහළ මට්ටමක දුප්පත්කම අවම කර ගැනීමට ද අත්‍යවශ්‍ය වේ. ගිය වසරේ (2024) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5 ක ආර්ථික වර්ධනයක් අත්කර ගත්තත්, එසේම මේ වසරේ (2025) පළමු මාස හයේ දී සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළත්, අප තවමත් සිටින්නේ, 2018 වසරේ මූර්ත දළ දේශීය නිෂ්පාදිත අගයන්ට වඩා පසුපසිනි. එසේම අපේ ආර්ථික වර්ධනය ලෝක බැංකුව පුරෝකථනය කර ඇති පරිදි ලබන වසරේ (2026) දී සියයට 3.5 ක් දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ නිසා ආර්ථිකය වර්ධනය වුවත් එසේ වර්ධනය වන වේගය අඩුවෙමින් තිබේ. මේ මන්දගාමී ආර්ථික වර්ධනය හමුවේ නම් අපේ ආර්ථිකය යළි අර්බුදයකට ගමන් කළ හැකිය. ඒ නිසා මෙකී වාර්තාව නිර්දේශ කරන්නේ ආර්ථිකය පරිවර්තනය කිරීමට, එහි නිෂ්පාදනය ශක්තිමත් කිරීමට සහ විවිධාංගීකරණය කිරීමටත් එමගින් ඉදිරි වසර පහ තුළ වර්ධනය සියයට 3 සිට සියයට 5 දක්වා ඉහළ නැංවීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහාත් විශේෂිත ප්‍රවේශයක් අවශ්‍ය බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here