ශ්‍රී ලංකාවට ඩොලර් උනන උල්පත ටුක් ටුක්

0
3

ඩොලර් බිලියන 372 ක සංචාරක වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට මහඟු අවස්ථාවක්

කැමැති තැනක නැවතී කැමැති විදිහට රටේ අසිරිය විඳින ගමනක්

දෙල්තොට පිහිටි ලූල්කඳුර වතුයායේ සංචාරය කරන්නට එංගලන්තයෙන් ආ සංචාරකයින් පිරිසකි. සුන්දරත්වයෙන් අනූන ලූල්කඳුර වතු යායට වැටී ඇති මාර්ගය තරමක් දුෂ්කර ය. මේ ගමන ආරම්භයේදීම නෙත ගැටෙන්නේ වතුකර ජනතාවගේ වන්දනාවට ඉදි වූ දෙවොලකි. තවත් තැනක ගල්තලා මත්තෙන් මුරණ්ඩු ලෙස ගලා යන සීතල ජල දහරාවකි. එහි සැබෑ අසිරිය නැරඹීමට නම් මේ සංචාරකයන් එහි ඇති බොහෝ තැන්වලට සමීප වීමට දුෂ්කර මාර්ගවල යා යුතුය. එයට පහසුම රථය ටුක් ටුක් රථය යි. එහි වාසිය ඔවුන් කොතෙක් ලැබුවාද යන්න ලූල්කඳුර වතුයායේ තවත් බොහෝ සුන්දර ස්ථානවලට සමීප වීමට එය ඉතා පහසු කරවීය. එංගලන්ත සංචාරකයන් මේ ගමන් සගයා නිසා එදින නැරඹුවේ ලූල්කඳුර වතුයායේ සිරිය පමණක් නොවේ.

එංගලන්ත සංචාරකයන් ටුක් ටුක් රථයකින් කිලෝමීටර් කිහිපයක් වතු යාය හරහා පැමිණි ගමනකින් පසු තවත් සුන්දර වතු යායකට සමීප වූයේය. එහි මධ්‍යයේ ද වතු යායේම සේවය කරන සේවකයකු නවීන පහසුකම් සහිතව පිදුරු, පොල්අතු සෙවිලි කළ සාදන ලද අපූරු නිවාඩු නිකේතනයකි. එයින් මේ සේවකයා ආදායමක් ලබන අතර එහි සිට විදේශිකයකුට අවට වටපිටාව නරඹා අත්විඳිය හැකි දෑ බොහෝ ය. මීදුම් වලාවන් අවට පැතිරුණු කඳු පන්ති අතරින් දැකිය හැකි කොණ්ඩගල ද එහිදී එංගලන්ත සංචාරකයන්ගේ බොහෝ සිත් ගත්තේ ය.

තවත් විටෙක ඔස්ටේ්‍රලියාවේ සිට පැමිණි සංචාරකයන් පිරිසක් අනුරපුරයට යනෙන මඟ දෙපස මඳකට නැවතී ‘වෑවර කුරුම්බා’ ගෙඩියක ප්‍රණීත රසය විඳිමින් පිපාසය සංසිඳුවා ගනී. ඔවුන් එහිදී එම කුඩා ව්‍යවසායකයා අත තබන මුදල ඔහුට මහමෙරකි. ඔහුගේ අව්‍යාජ සිනහමුසු මුහුණ විදේශීය සංචාරකයාගේ ඡායාරූපයට එක්වන්නේ ය. එම මුදලින් ඔහුගේ කුටුම්භය රැකෙනවා සේම, තම ව්‍යාපාරය ගැන ද ඔහු තබන්නේ සුරක්‍ෂිත අනාගත බලාපොරොත්තුවකි.

මෙය ප්‍රබන්ධයක් නොවේ. මේ මෙරට තිබෙන ස්වාභාවික සම්පත්, මානව සම්පත හා ඔවුන් ලබන අව්‍යාජ සංචාරක අත්දැකීම් ගොන්නකි. විටෙක ඉහළ වටිනාකමක් ඇති සංචාරකයාගේ නෙත් සිත් පැහැරගන්නා ඡායාරූපයන් ය. තවත් විටෙක ග්‍රාමීය ජනයාගේ ජීවනාලියේ සුන්දර අද්දැකීම්ය. ඒ ඔවුන්ගේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වන ආකාරයය. ඒ හැමට සවියක් වෙමින්, විදේශීය සංචාරකයාට හරවත් නවමු සංචාරක අත්දැකීමක් ලබාදෙමින් ඵලදායී ගමනාන්තයක් ලබාදෙන්නේ ටුක් ටුක් සැරිසැරිය ය.

රටේ ආර්ථිකය තීරණාත්මක අවස්ථාවක පවතින නිසා ඒ සඳහා ශක්තිමත් සහ තිරසර ආර්ථික සංවර්ධන මාර්ග සොයමින් සිටින විට මේ ටුක් ටුක් ප්‍රවාහන සේවාව ශක්තිමත් ආර්ථික පරිවර්තනයකට ගෙනයනු ඇත. නූතන සංචාරකයා අද වනවිට පෙර පැවැති සංචාරක ක්‍රමය වෙනුවට තමන් විසින් සොයා යන නිදහස් සංචාරයක් සොයනු ඇත. ඒ සඳහා ඔවුන් ලංකාවේ සාම්ප්‍රදායික සංචාරක අත්දැකීම් ලබාගැනීම වෙනුවට, තමන් විසින්ම සංචාරය කරන ස්ථාන හඳුනාගැනීම හා ළඟාවීමට උපරිම සංචාරක අද්දැකීම් ලබාගැනීමට සංචාරකයින් උත්සාහයක යෙදෙනු ඇත. එහෙත් මෙම සංචාරක ප්‍රවාහනය තුළින් අත්දැකීම් සහිත සංචාර සඳහා දැවැන්ත ගෝලීය වෙළෙඳපොළක් නිර්මාණය වී ඇත.

පොලාරිස් වෙළෙඳපොළ පර්යේෂණයට අනුව, මෙම වෙළෙඳපොළ 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 138ක් වූ අතර 2034 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 372.93 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. නිදහසේ සංචාරය කළ හැකි ත්‍රිරෝද රථය හෙවත් ටුක්-ටුක් රථය ලාභදායීම ප්‍රවාහන මාධ්‍යයකි. මෙමගින් ලොව සංචාරක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකාවට ජයගැනීමට ඔබත් මමත් හඳුනන ටුක් ටුක් රථය මේ වනවිට ක්‍රියාත්මක වී අවසන් ය.

ටුක් ටුක් සංචාරය හා මාර්ග නීතිය

මෙරට පවතින නීතිය අනුව විදේශීය සංචාරකයකු ත්‍රිරෝද රථයක් පැදවීම පිළිබඳව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැත. ශ්‍රී ලංකාව 1951 ජූලි 26 වැනි දින මාර්ග ගමනාගමනය පිළිබඳව ජිනීවා සම්මුතිය (1949) අනුමත කළ අතර, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය (International Driving Permit) පිළිගන්නා තවත් රටවල් 103ක් සමග එක්විය. IDP යනු බහු භාෂාවලට පරිවර්තනය කර ඇති ඔබේ රියදුරු බලපත්‍රයට වඩා වැඩිදෙයක් නොවේ. (එය විදේශිකයකුට ලබාදෙන මාර්ග ගමන් බලපත්‍රයකි.) එය ශ්‍රී ලාංකිකයන්ට අමතර පරීක්‍ෂණ නොමැතිව විදේශගතව රිය පැදවීමට අවස්ථාව සලසන අතර විදේශීය සංචාරකයාට ද එසේ කිරීමට අයිතියක් ලබාදෙනු ඇත. එබැවින් ටුක් ටුක් සංචාරය විදේශිකයකු මෙරට සිදුකිරීමේදී කිසිදු නීතිමය ගැටලුවක් පැන නොනගින බව තහවුරුය.

ටුක් ටුක් සංචාරයෙන් ආදායම බෙදී යන ආකාරය

විදේශීය සංචාරකයන් මෙරට රැඳී සිටින කාලය පිළිබඳව ජාතික සංඛ්‍යාලේඛන වලට අනුව සාමාන්‍ය නවාතැන් දින 8 කි. එහෙත් ටුක්-ටුක් හරහා ගවේෂණය කරන ස්වාධීන සංචාරකයන් සාමාන්‍යයෙන් දින 12-16 ක් රැඳී සිටින අතර ඇතැමුන් මාසයක් හෝ ඊට වැඩි කාලයක් රැඳී සිටිති. ඔවුන් මෙරට රැඳී සිටින මෙම දීර්ඝ කාලය තුළ නවාතැන්, ආහාර සහ දේශීය අත්දැකීම් සඳහා ඉහළ වියදම් දරනු ඇත.

නූතන සංචාරකයා විදේශ සංචාරයකට පෙර ඒ රට පිළිබඳව අධ්‍යනයක යෙදී තමන්ගේ සංචාරය පිළිබඳව කලින් සැලසුම් කරනු ඇත. ඒ අනුව ඔවුන් සංචාරයේ යෙදෙන ටුක්-ටුක් රථය මගින් ඔවුන්ට පිරිනමන නිදහස සහ අද්විතීය අත්දැකීම සඳහා මුදල් ගෙවනු ලබන්නේද කැමැත්නේමය. මෙම පිරිවැයට අමතරව නවාතැන්, දේශීය ආහාර පාන සහ සංචාරක අත්දැකීම් සඳහා ද ඔවුන් වියදම් කරනු ලබයි. ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයා බලාපොරොත්තු වන්නේ තම සංචාරයේදී වියදම් අඩු කිරීම ගැන නොව, ඔවුන්ගේ සංචාරක අත්දැකීම් නොඅඩුව ලබාගැනීමය. සංචාරක කර්මාන්තයෙන් යැපෙන රටක් වන ශ්‍රී ලංකාව ඊට අගය එකතු කිරීමද ඉතා වටින්නේ ය. විදේශීය සංචාරකයාට අද්විතීය අද්දැකීම් සම්භාරයක් ලබාදෙන ටුක් ටුක් ත්‍රිරෝද රථය මේ වනවිට එය සනාථ කොට හමාරය. ඒ ජොන්ටි රෝඩ්ස් වැනි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් පවා තම පවුලේ අය සමග මෙරට ටුක් ටුක් රථයක් මගින් සංචාරය කිරීමට තෝරාගැනීමය.

සංචාරකයකුට තමන්ගේම ගමන් මාර්ගය ප්‍රස්ථාරගත කිරීමට නිදහස ඇති විට, ඔවුන්ගේ වියදම් විශාල හෝටල් සහ ස්ථාපිත අවන්හල්වල, සංචාරක මධ්‍යස්ථානවලට සීමා නොවී, එය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට සමීප වේ. දුරස්ථ ගමක පවුලක් විසින් පවත්වාගෙන යනු ලබන රොටී කඩයක, ග්‍රාමීය තරුණයකු පවත්වාගෙන යන කුඩා නවාතැන්පළක, පාර අයිනේ අතින් සාදන ලද ලී අත්කම් අලෙවි කරන ශිල්පීන්, කුඩා පරිමාණ පලතුරු වෙළෙන්දා, ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන කාර්මිකයන් යන මේ සියල්ලෝම සංචාරක ඩොලරයේ ප්‍රතිලාභීන් බවට පත්වන්නේ ය. බිම් මට්ටමේ ආදායම් ලබන ව්‍යවසායකයා ද මෙමගින් ආදායම ලබන නිසා ග්‍රාමීය සංවර්ධනය සඳහා බලවත් සවියක් වනු ඇත. ටුක් ටුක් සැරිසැරය මගින් මුළු රටේම ව්‍යවසායකයින්ගේ ජීවනෝපායන් සවිබලගන්වන අතර නාගරික මධ්‍යස්ථාන සහ පළාත් අතර ආර්ථික විෂමතාවය අඩු කරනු ඇත.

තවද ඊ චාර්ජ් ටුක් ටුක් සඳහා ආරෝපණ මධ්‍යස්ථාන බිහිවීම හා ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථාන බිහිවීම හා වර්ධනය තුළින් නව රැකියා අවස්ථා ඇතිවීම ද මෙහි සාර්ථක ප්‍රතිඵල ය. මේ තුළින් සංචාරක ආදායම බෙදීයෑමේ වෙළෙඳපොළ විශාල සමාගම් කිහිපයක් විසින් දරනු ලබන ආධිපත්‍යය වෙනුවට, එය ස්ථාවර සහ විශ්වාසදායක ආදායමක් සඳහා තම වත්කම් භාවිත කරන සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ ජාලයක් බවට පත්වන්නකි.

සමාජීය හා ආර්ථික සවිබල ගැන්වීමට නව ජවයක්

අද වනවිට ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල ද ටුක් ටුක් මගින් සංචාරක ආදායම බෙදීයන පිරිස අතිවිශාලය. ශ්‍රී ලංකාව පුරාම විසිර සිටින ටුක් ටුක් හිමිකරුවන් ගණන ද බොහෝ ය. මෙරට තනි හිමිකරුවන් විසින් ටුක්-ටුක් රථ 1,200 කට වඩා කුලියට දී ඇත. එම රථයක් සඳහා ආසන්න වශයෙන් රුපියල් 60,000 ක සහ ඊ-ටුක්-ටුක් සඳහා රුපියල් 80,000 ක් දක්වා ස්ථාවර මාසික ආදායමක් උපයාගැනීමට මේ ප්‍රවාහන සේවාව අවස්ථාව උදාකර දී ඇත. වෙළෙඳපොළ පවතින ආර්ථිකය හා අවස්ථා සලකා බැලීමේදී ආයෝජිත මූලික ආයෝජනයෙන් 25% කට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමට අවස්ථාව උදාකරන්නකි. මෙම ආදායම් ප්‍රවාහය සමාජ බලගැන්වීමේ ගැඹුරු කතාවක් නියෝජනය කරයි.

ටුක් ටුක් ගැන සමාජ මතය

බොහෝ ජන කණ්ඩායම් හා විවිධ සංචාරක ප්‍රවණතා පිළිගැනීමට අකැමැති අවිධිමත් සංචාරක කොටස් මෙම සංචාරක ප්‍රවාහනය ක්‍රමය ගැන විවිධ මත පළ කිරීම හා විවිධ අර්ථකථන සැපයීම සාමාන්‍ය කරුණකි. ඔවුන්ගේ ප්‍රශ්නය එයට නීතිය ඉඩ දෙනවා ද යන්න නොවේය. සමාජයේ මුල් බැසගත් බොහෝ අදහස් බොහෝ දෙනකු ප්‍රතික්‍ෂේප කිරීමට මැලිවෙයි. එහෙයින් ඔවුන් මෙවැනි නැවුම් අදහස් ප්‍රතික්‍ෂේප කිරීමට පෙළඹේ. නැතහොත් ඔවුන් දරන පටු අරමුණු හා දේශපාලන මතවාදයන් නිසා රටට අහිමිවන්නේ මහඟු ආර්ථික අවස්ථාවකි. එහෙත් සිදුවිය යුත්තේ විවිධ මතවලට, දේශපාලන අභිමතාර්ථයන්ට කොටු නොවී රටක් විදිහට දිගු ගමනක් යෑමටය. මෙරට සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමය. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමය. මෙවැනි ප්‍රායෝගික ටුක් ටුක් නව්‍ය සංචාරක සැරිසැරියන් එය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

අද සමාජයේ ත්‍රිරෝද රථ මගින් ආදායම ලබන පිරිසට තම ත්‍රිරෝද රථය ටුක් ටුක් සංචාරක කර්මාන්තයට යොමුකිරීම තුළින් ආදායම වර්ධනය කළ හැකිය. දැනටමත් සංචාරක කර්මාන්තය සඳහා ත්‍රිරෝද රථ ලබාදෙන හිමිකරුවන්ගෙන් තුනෙන් එකක් කාන්තාවන් වන අතර, ඔවුන් මෙම ආදායම තම දරුවන්ගේ අධ්‍යාපනයට අරමුදල් සැපයීමට, සෞඛ්‍ය කටයුතුවලට, ඉතුරුම් හා අනෙකුත් කුඩා ව්‍යාපාරවලටද ආයෝජනය කිරීමට භාවිත කරයි. තවද විශ්‍රාමිකයන් තම ටුක් – ටුක් කුලියට දීමෙන් සාම්ප්‍රදායික ආයෝජන මාර්ගවලට වඩා ලාභදායී ප්‍රතිලාභයක් ලබාගන්නා බවද සොයාගෙන ඇත. එමෙන්ම දියුණු වීමට උත්සාහ කරන තරුණ ප්‍රජාවට ද තම ස්ථිර රැකියාවට අමතරව ටුක් ටුක් ගෙනදෙන්නේ විකල්ප ආදායමකි.

කාලය ඉතා වැදගත් ය. මේ වනවිට ද සංචාරකයා ශීත සෘතුවේ මෙරට සංචාරය සඳහා තීරණ ගනිමින් සිටියි. දැන් ඔවුන් සංචාරක ගමන් සැලසුම් කරමින්, එහි නවාතැන් පිළිබඳව අධ්‍යයනය කරමින් තීරණ ගනිමින් සිටී. ජොන්ටි රෝඩ්ස් වැනි ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ ප්‍රතිරූපය ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ නිදහසේ ගවේෂණය කිරීම සහ ඔස්ටේ්‍රලියාවේ ක්‍ැකැඉරසඑහ ්ප්‘සබට ඍ්ජැ වැනි ලොව ප්‍රකට රියැලිටි වැඩසටහන් වල තරගකරුවන් මෙරට ටුක් ටුක් ධාවනය කිරීම ලෝකයට බලවත් හා ධනාත්මක පණිවිඩයක් යවා ඇත. ඔවුන් මෙරට සංචාරය සඳහා වඩා සුදුසු යැයි ලොවට යවා ඇති ප්‍රතිරූපය අප රැකගත යුතුය. එහෙත් නීතිය නිවැරදිව නොදැන සිටීම නිසා, සංචාරකයකු පැද යන ටුක් ටුක් රථය නවතා ඔවුන් ප්‍රශ්න කර අපහසුතාවයට පත්කිරීම මගින් සිදුවන්නේ මෙරට ගෝලීය සංචාරය සඳහා සුදුසු යැයි කියන ප්‍රවණතාවයට බලපෑමක් සිදුවීමය. සංචාරක බ්ලොග්කරුවන් සම්බන්ධ හිරිහැරකාරී සිදුවීම් අන්තර්ජාලය හරහා ගෝලීය ප්‍රේක්‍ෂකයන් වෙත ඉක්මනින් ව්‍යාප්ත වීම නිසා ධනාත්මක ප්‍රතිරූපයට සෘජු තර්ජනයක් එල්ල වේ. එය සංචාරක ප්‍රවර්ධන උත්සාහයන් පවා අඩපණ කරනු ඇත. අනෙක් අතට, බාධාවකින් තොරව ස්වයං-ධාවන ගමනක් භුක්ති විඳින සංචාරකයකුගේ සෑම ධනාත්මක වීඩියෝ බ්ලොග් සහ තබන සෑම සමාජ මාධ්‍ය සටහනක්ම මෙරට සංචාරක කර්මාන්තය සඳහා නොමිලයේ පළවන වෙළෙඳ දැන්වීමකි.

ටුක් ටුක් සංචාරකයා සැබැවින්ම ආරක්‍ෂිතයි

ශ්‍රී ලංකාවේ ටුක් ටුක් පැදවීමේ ආරක්‍ෂාව ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්‍ෂාව සඳහා වූ ජාතික කවුන්සිලයට අනුව, යතුරු පැදියකට වඩා ආරක්‍ෂිත විකල්පයක් ලබාදෙයි. මාර්ග අනතුරු මරණවලින් අසමානුපාතික කොටසක් පදිකයින් සහ යතුරු පැදිකරුවන් සම්බන්ධ අනතුරුය. 2021දී සිදු වූ මාර්ග අනතුරුවලින් 70%ක් පදිකයන් සහ බයිසිකල් අනතුරු බව ආසියානු ප්‍රවාහන නිරීක්‍ෂණාගාරය පවසයි. යතුරු පැදි මෙන් නොව, ටුක් ටුක් වඩාත් ස්ථායී වන අතර එහි වේගය පැයට කිලෝමීටර 40 කට සීමා වේ.

අද වනවිට ටුක් ටුක් රථය මෙරට සංචාරක කර්මාන්තය සඳහා වඩාත් සමෘද්ධිමත් සහ වඩාත් උද්යෝගිමත් පරිච්ඡේදයක් කරා ධාවනය කරන එන්ජිම බවට පත්වී ඇත. දැන් එය කිසිදු බාධාවකින් තොරව ලංකාවේ සෑම ජන කොට්ඨාසයකටම සංචාරක ආදායම බෙදාහරින ක්‍රමයකි. එහි යථාර්ථය නම් සංචාරක අත්දැකීම් සහිත සංචාරක වෙළෙඳපොළෙන් සැලකිය යුතු කොටසක් ටුක් ටුක් රථය සිය ගමන් සගයා බවට තෝරාගැනීම ය. රටක් හැටියට -සංචාරක වෙළෙඳපොළ අත්පත් කරගැනීමට නම් මේ මහඟු අවස්ථාවෙන් අප උපරිම ප්‍රයෝජන ගත යුතුය.

ආර්. ලසන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here