කය ලෙඩ වුණත්, සිත ලෙඩ නොකර ගන්න

0
3

පින්වත, මනුෂ්‍ය ජීවිතවලට වැලඳෙන රෝගීභාවයන් හේතුවෙන් බලවත් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සමාජගත වෙමින් පවතිනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කායික සහ මානසික නීරෝගීභාවය මොනතරම් නම් ලාභයක් ද කියලා අපිට දැනෙන්නේ, සමාජගත වන රෝගීභාවයන්ගේ සංකීර්ණභාවය නිසා මයි. පින්වත, රෝහල්, ඖෂධ සහ වෛද්‍ය ගාස්තු මහා වේගයෙන් ඉහළ යද්දී, රෝගීභාවයන්ට අදාළ අපේ ම අකුසල්, අපේ ජීවිතවලට සිදු කරන අලාභයෝ අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, අපේ ම පටිච්චසමුප්පන්න අකුසල් සංකීර්ණ වෙද්දී, අපි බලාපොරොත්තු වන කායික සහ මානසික නීරෝගීභාවය අපිට අභියෝග කරනවා. පින්වත, කය ලෙඩ වුණත්, සිත ලෙඩ නොකර ගෙන ජීවත් වෙන්න උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට තිබෙනවා. පින්වත, “සිත ලෙඩ කර ගත්තොත්, කය ලෙඩ වෙනවා” ය කියන කාරණය ධර්මතාවයක් වෙනවා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් සිත නීරෝගී කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, සම්මා සතියෙන් උපදින සිහිනුවණයි කායික සහ මානසික නීරෝගීභාවය උදෙසා කර්මය කර්මඵල විශ්වාසයේ ප්‍රතිශක්තියෙන් පෝෂණය වූ සැබෑ ඖෂධය වෙන්නේ. පින්වත, සමාජගත වන කායික සහ මානසික රෝගාබාධයෝ මනුෂ්‍ය ජීවිතවල සම්මා සතියේ වියෝව ගැන කියන සුන්දර ඒහිපස්සික දහමක් ම වෙනවා. පින්වත, සමාජගත වන අධර්මයෝ, අධර්මයන් ම ප්‍රවර්ධනය කරද්දී, ධර්මයෙන් ඈත් වීම නොවේ අපි කළ යුත්තේ, ධර්මයේ අර්ථයන්ට විවෘත වීමයි.

අවිවාහක පින්වත් තරුණ මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මම සමලිංගික සේවනයට ඇබ්බැහි වෙලයි සිටින්නේ. මාගේ මේ සමලිංගික ඇබ්බැහිය මාගේ උවමනාවෙන් මා ඇති කොට ගත්තක් නොවේ. වැඩිහිටි සමාජයයි ළමා කාලයේ දී ම ඉහත ඇබ්බැහිය මා තුළ ඇති කළේ. වර්තමානයේ කවුරුන් හෝ ඉහත කාරණය සම්බන්ධයෙන් මට අවවාද කළොත්, මම ඔහු සමග දැඩිව ගැටෙනවා. මාගේ මේ සමලිංගික ඇබ්බැහියට මා වගකිවයුතු නැහැ, සමාජයයි මට බලෙන් මේ ඇබ්බැහියට පුහුණු කළේ” යැයි එම තරුණ මහත්මයා භික්ෂුවට කියනවා. පින්වත, වර්තමානයේ ඔහු සමලිංගික ලෝකයේ වීරයෙක්. ඔහු එම ක්‍රියාව සතුටින් පිළිගන්නවා වගේ ම, ඔහු එම ක්‍රියාව සමාජය තුළ ප්‍රවර්ධනය කරනවා. පින්වත, ආගමක, දහමක සරණ නොයන අහිංසක ජීවිත අසම්මතයන් සතුටින් පිළිගන්නවා. පින්වත, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ අනුවණින් පිළිගන්නා එම පින්වතුන් කෙටි ආස්වාදය තුළ සැඟවුණ දීර්ඝ ආදීනවයෝ ආත්මීය දෘෂ්ටියෙන් ම වසා දමනවා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, නැවත පටිච්චසමුප්පන්න උපතක් තිබෙනවාය කියන විශ්වාසය ඔබේ ජීවිතයෙන් මකා දමන්න එපා. පින්වත් ඔබේ උතුම් මනුෂ්‍ය ධර්මයෝ අනුනගේ අසම්මත උවමනාවන් වෙනුවෙන් ගොදුරක් කොට දෙන්න එපා. පින්වත, ඔබට නිවැරදි වෙන්න අත්‍යවශ්‍ය නම්, මුලින් ම ඔබ කරන්නේ වරදක් යැයි තේරුම් ගන්න ඕනේ. පින්වත් ඔබ වරද, වරදක් හැටියට නොදකින තාක් කල් ඔබ වරදේ ම සිරකරුවෙක් වෙනවා.

පින්වත, ඔබ මේ පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිතය ලැබුවේ දිනන්න මිසක් පරදින්න නොවේ. පින්වත, ලෞකික සැපයට සහ විදර්ශනාමය සැපයට අදාළ මේ ලෝක ධාතුවේ තිබෙන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උණුසුම ඔබට මව්පිය උරුමයෙන් ම ලැබුණේ ඊට සාක්‍ෂියක් වශයෙන් මයි. පින්වත, ඉහත උත්තරීතර පුණ්‍යවන්ත දැක්මට, ඔබ තවමත් ප්‍රමාදී නම්, ඊට වගකිවයුත්තා පින්වත් ඔබ නොවේ, ඔබ තුළ පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මක වන අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයයි. පින්වත, අවිද්‍යාව නැති කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඖෂධය නොගන්නා ජීවිත, අතීත සාංසාරික පුරුදු පුහුණුවල දැනීම් ඔස්සේ අසම්මතයන්ට ගොදුරු වෙන්න පුළුවන්. පින්වත, මෙම සටහන කියවන මොහොතේ පින්වත් ඔබේ සිත සමාධිමත්වයි තිබෙන්නේ. එම සමාධිමත් සිතෙන් දෑස් පියාගෙන නුවණින් දකින්න, අතීත පටිච්චසමුප්පන්න සංසාර භව ගමනේ මොනතරම් නම් සාංසාරික පුරුදු පුහුණු අපේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය සමග මුසු වී තිබෙන්නට පුළුවන් ද? පින්වත, පටිච්චසමුප්පන්නව ආත්මභාව පන්සියයක වඳුරු කුලයේ ඉපදුණ, ආත්මභාව පන්සියයක ඇත් කුලයේ ඉපදුණ, ආත්මභාව පන්සියයක බමුණු කුලයේ ඉපදුණ අදාළ සාංසාරික පුරුදු සහිත උතුම් රහතන් වහන්සේලා ගැන ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, වර්තමානයේ අපි නොදන්නවාට, අපේ ජීවිත සමග බැඳී මොනතරම් නම් පටිච්චසමුප්පන්න සාංසාරික අතීත පුරුදු පුහුණු තිබෙන්නට පුළුවන් ද?

පින්වත, අපේ ජීවිත දෙස ආපසු හැරී බලද්දී, අපේ අතීත ගිහි ජීවිත මොනතරම් නම් සංකීර්ණ ද? පින්වත, හොඳ සහ නරක, දුක සහ සැප, සම්මතයෝ සහ අසම්මතයෝ, පින්වත, මේ සෑම පන්තියක ම භික්ෂුව ගිහි ජීවිතයේ දී හොඳින් ඉගෙන ගෙන තිබෙනවා. පින්වත, අසම්මතයෝ සතුටින් පිළිගෙන තිබෙනවා. පින්වත, භික්ෂුව වර්තමානයේ හොඳින් ම දන්නවා, ගිහි ජීවිතයේ දී තිබුණ ඉහත සියලුම පුරුදු සහ පුහුණු පටිච්චසමුප්පන්න සාංසාරික පුරුදු පුහුණුය කියලා. පින්වත, අපි බුද්ධ විෂය ඉක්මවා යන්න හොඳ නැහැ. අපි බුද්ධ විෂය ඉක්මවා ගියොත්, අපි පුහුණු කළ සාංසාරික අසම්මත පුරුදු සහ පුහුණු වර්තමානයේ අපිව ගොදුරු කොට ගන්න පුළුවන්. පින්වත, පටිච්චසමුප්පන්න අතීතය දකින්න අපිට පූර්වේනිවාසානුස්සති ඥානය නැහැ. එම නිසා ම, කල්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් සහ කල්‍යාණ ධර්මයෝ ශ්‍රවණය කිරීමෙන්, කල්‍යාණ ධර්මයෝ නුවණින් මෙනෙහි කිරීමෙන් සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය අපි හඳුනා ගන්න ඕනේ. පින්වත, සම්මත මනුෂ්‍ය චර්යාවන්ට එරෙහිව අපි තුළින් ම මතු වන අසම්මත මනුෂ්‍ය ධර්මයෝ සිහිනුවණින් අපි ජීවිතවලින් බැහැර කරන්න ඕනේ. පින්වත, ලෞකික සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක නිවන උත්තරීතරභාවයයි ඒහිපස්සිකව අපි මේ දකින්නේ. පින්වත් ඔබට සමලිංගික සේවනය පිළිබඳව දැනීම් සකස් වුණොත්, එම දැනීම් මතුකොට දෙන්නේ, අතීත සාංසාරික අසම්මත පුරුදු පුහුණුවල හේතුඵල ධර්මයෝ නිසා මයි. පින්වත, සංස්කාර ලෝකයේ වහලෙක් වෙන්න එපා. ලෝකය මනුෂ්‍ය ධර්මයන්ගෙන් යටත් කොට ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, තම සේවා ස්ථානයේ රාජකාරී කරන සහෝදර සේවක මහත්ම, මහත්මීන් එක්දහස් දෙසීයක් පමණ සිටිනවා. මෙම පිරිසෙන් බහුතරය මානසික ආතතියෙන් පෙළෙනවාය කියලා. පින්වත, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම්, විවාහ ජීවිතවල අවුල් සහ බිඳ වැටීම්, සමලිංගික සේවනය, මත් වතුර, මත්ද්‍රව්‍ය භාවිතය, අනාගතය පිළිබඳව සැකය, බිය, විචිකිච්ඡාව හේතුවෙන් පීඩා විඳිනවාය කියලා. පින්වත, ජීවිතයෙන් පලා යන්න එපා, ජීවිතයට මුහුණ දෙන්න. අපේ ජීවිත වෙළා ගන්නා මානසික දුර්වලතාවයන් යනු, අපේ ම පටිච්චසමුප්පන්න අතීත අකුසල් සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයෝයි. පින්වත, පෙර පටිච්චසමුප්පන්න ජීවිතවල අපි දුර්වල කොට ගත් මනුෂ්‍ය හිංසනය, බොරු කීම, කාමයේ වරදවා හැසිරීම සහ මිච්ඡා ආජීවයන්ගේ විපාකයෝ මේ ජීවිතයේ දී ඔබ පීඩා විඳින මානසික ආතතියට හේතුව වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ අපි සෑම කෙනෙක්ගේ ජීවිතවල සැඟවී තිබෙන අතීත පටිච්චසමුප්පන්න අකුසල් ධර්මයෝ දැකලයි අපි කෙරෙහි මහා කරුණාවෙන් අතීත අකුසල් යටපත් කොට ගෙන කුසලයෙන් නැගී සිටීමට, ලෞකික සැපයට එකම මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කොට තිබෙන්නේ. පින්වත, ඔබේ ම ජීවිතයෙන් ඔබ පළිගන්න එපා, ඔබේ ජීවිතයට ඔබ ආදරය කරන්න. පින්වත, භික්ෂුවගේ ගිහි ජීවිතය පුරාවට ඉහත මානසික ආතතියන්ට අදාළ පාඩම් සිත් සේ පෞද්ගලිකව අත්දැකලා තිබෙනවා. පින්වත, අපි පාඩම් ඉගෙන ගත යුත්තේ, ජීවිතය නමැති ප්‍රශ්න පත්‍රය ඉරා දමන්න නොවේ, ඊට සාර්ථකව පිළිතුරු ලියන්නයි.

පින්වත, කර්මය කර්මඵල විශ්වාසය තුළින් ප්‍රශ්න දෙස බලද්දී, මේ සෑම ප්‍රශ්නයක් තුළින් ම අපිට සතුට මතුකොට ගන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, ඔබේ ජීවිතය ‘මම ය’, ‘මගේ ය’, ‘මගේ ආත්මය’ යැයි දකින්න එපා. පින්වත, ආත්මීය දෘෂ්ටිය, මමත්වයේ දැඩිභාවයට මයි ආහාර සොයන්නේ. පින්වත, අදක්‍ෂයා තම අතීත අකුසල්, ආත්මීය දෘෂ්ටියේ තවරා සක්කාය දිට්ඨියට ප්‍රණීත ආහාරයක් කොට ගන්නවා. ඔහු අකුසලය බැහැර නොකොට සතුටින් පිළිගන්නවා. පින්වත, ඔහු අකුසලය ඉදිරියේ ඒකපාක්‍ෂික දඩබ්බරයෙක් වෙනවා. පින්වත, ඔහු යහපත් අවවාදයෝ හිසරදයක් කොට ගන්නවා. පින්වත, ඔහුට අවශ්‍ය දුකෙන් මිදෙන්න නොවේ, දුක විඳින්නයි. පින්වත, භික්ෂුව මේ සියල්ල අතීත ගිහි අත්දැකීම් තුළින් මයි සටහන් තබන්නේ. පින්වත, අපේ ගොරහැඩි, අමිහිරි ආත්මීය දෘෂ්ටියේ හොල්මන් බහුල අතීතය, එකම එක සිතුවිල්ලකින් අපිට මකා දමන්න පුළුවන්, හැබැයි ඉතින් ඊට සම්මා සමාධිමත් සිතක් තිබෙන්නට ඕනේ. පින්වත, සද්ධර්මයට අදාළ සටහන කියවන ඔබේ සිතුවිලි විවේකීවයි මේ මොහොතේ තිබෙන්නේ. පින්වත, එම විවේකී සිතෙන් අතීත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත, කටුක, අමිහිරි, අමතක කළ නොහැකි අතීත මතකයන්, අතීත පංච උපාදානස්කන්ධයෝ තුළින් අනිත්‍ය යැයි දකිද්දී, වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධයෝ අනිත්‍ය යැයි ස්වයංක්‍රීයව ඔබ තුළින් සිහිනුවණ සකස් කොට දෙනවා.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here