ප්‍රසම්පාදනයෙන් තොරව සහල් ආනයනය කිරීමෙන් සතොසට බිලියන 15ක පාඩුවක්

0
2

පසුගිය 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රුපියල්  15,157,031,018 ක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.

මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ 2014 සහ 2015 වර්ෂවලදී සිදුකර තිබුණු ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124 ක ආදායමක් බවය.

ඒ අනුව දේශීය සහල් වෙළෙඳපොළ තත්ත්වය වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් රුපියල්  15,157,031,018ක පමණ මුදලක් සතොස ආයතනයට පාඩු සිදුව ඇති බවත් කාරක සභාව පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරදීමට භාරදී ඇති බවය.

තවද සුදුසු පරිදී ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අයවිය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් මෙහිදී පෙන්වා දී තිබේ.

සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේදී මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළෙඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අතිකාරම් නොගෙවිය යුතු වුවත් පසුගිය 2020 දෙසැම්බර් 31 වන විට ගිවිසුම් 29ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අතිකාරම් මුදල් ලෙස රුපියල් 34,234,996ක ඇස්තමේන්තුවක් ලබා ගැනීමකින් තොරව ගෙවා ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත.

සේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රුපියල්  27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here