ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් දිස්ත්‍රික්ක 25 තුළ පිහිටි කාර්මික විද්‍යාල 25ක් නවීන ලෝකයට ගැලපෙන අයුරින් සංවර්ධනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට සමගාමීව පසුගිය 06 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමති, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ යන අයගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවකදී පවත්වා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය,
“හුදෙක් වෘත්තීය දැනුම ලබා දීමට පමණක් සීමා නොවී, තරුණ ප්‍රජාවගේ මානසික සුවය සහ සුභසාධනය කෙරෙහිද දැඩි අවධානයක් යොමු කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි.
ඒ යටතේ නවීන මට්ටමේ නේවාසිකාගාර, ආපනශාලා සහ සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක අත්දැකීම් ලැබිය හැකි ලෙසත්, මානසික නිදහස ලැබෙන ලෙසත් අභ්‍යන්තර හා බාහිර පරිශ්‍ර අලංකාර කිරීම, සෙසු අධ්‍යාපන ආයතනවලින් වෙන්ව හඳුනාගත හැකි පරිදි සෑම කාර්මික විද්‍යාලයකටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනැගීම කියන අංශ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කිරීම අවශ්‍යයි.”
මෙහිදී අදහස් දැක්වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේ රටේ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත දියුණු කිරීම සඳහා කාර්මික විද්‍යාල 23ක සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කළ හැකි බවයි. මෙම ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වය සහ සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.






2
Saru News










