හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂක නෙවිල් තවදුරටත් රිමාන්ඩ්

0
4

ඇප ප්‍රතික්‍ෂේප වෙයි

රුපියල් මිලියන 28කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම, එකී වත්කම් උපයාගත් ආකාරය අනාවරණය නොකිරීම හා ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට සහය ලබාදීම හිතාමතාම පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයේ නියමයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ප්‍රධාන ආරක්‍ෂක නිලධාරිවරයා ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (17දා) නියෝග කළේය.

සැකකරු සතු සම්පූර්ණ වත්කම් පිළිබඳ තොරතුරු සවිස්තරව ලබාදෙන ලෙසට තම කොමිෂන් සභාව විසින් 2016.12.08 වැනිදා ලිඛිතව දන්වා ඇතත් මේ දක්වාම ඒ අනුව කටයුතු කිරීම පැහැර හැර ඇති බවත් සැකකරුගේ එකී අයුතු ක්‍රියාදාමය නිසා විමර්ශනවලට දැඩි බාධාවක් වී ඇති බවත් කියාදෙමින් විමර්ශන නිලධාරීන් හා සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරයා කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළේය. සිය සේවාදායකයා විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටි කාලයට අදාළ වත්කම් තොරතුරු සියල්ල ලබාදී ඇති බවත් විමර්ශනවලට ඔහු කිසිදු බාධාවක් හෝ බලපෑමක් කර නොමැති බවත් පැවැසූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here